ප‍්‍රථම හමුවේ භීතිය.


අද අඹුසැමියන් අතර ඇතිවන ගැටලුවලට හේතු සොයාගැනීම ගොඩක් දුෂ්කර කටයුත්තක් වෙලා තියෙනවා. වරක් බර්ට‍්‍රම් රසල් නම් බ්‍රිතාන්‍ය ජාතික දාර්ශනිකයා මෙහෙම කියලා තියෙනවා. මනෝ සමාජයේ ගැටලු අන්තර් පුද්ගල සමාජයේ ඇතිවන ගැටලු විසඳීම අතිශයින්ම සංකීර්ණයි. සමහර විට ගණිතමය ගැටලු විසඳාගැනීම ඊට වඩා ලේසියි. අඹුසැමි ගැටලු වලට බොහෝ විට ලිංගික ගැටලු හේතුවෙනවා. එය බොහෝ දෙනා දන්නා ප‍්‍රකට කරුණක්. නමුත් ලිංගික කරුණු බොහෝ විට එළිපිට කතා කරන්නේ නැහැ. ඒවා අළුයට සැඟවුන ගින්දර මෙන් මතුවෙනවා. අවසන් වෙන්නේ අඬදබර හෝ දික්කසාදවලින්.

අද මම කතාකරන්නේ ලිංගිකමය ගැටලුවක් නිසා අවුලට පත්වූ පවුලක් පිළිබඳව. සුමුදු හා සුනිමල් විවාහවෙලා අවුරුදු අටයි. සුනිමල් බැංකු නිලධාරියෙක් ලෙස කටයුතු කරන අතර සුමුදු ගුරුවරියක් ලෙස රාජකාරි කළා. මේ දෙදෙනාගේ ගැටලුව ප‍්‍රථමයෙන් අප වෙත ගෙන ආවේ සුනිමල්ගේ මව. ඩොක්ටර් මගේ ගම නුවර. මම විශ‍්‍රාම ගිය ගුරුවරියක්. මගේ මහත්තයා ග‍්‍රාමසේවක කෙනෙක්. මම ආවේ මගේ පුතා ගැන කතා කරන්න. පුතාගේ වයස අවුරුදු 30 යි. පුතා බැඳලා අවුරුදු 05ක් වෙනවා. අපි හොයලා දීලා නම් නෙවෙයි. එයාම තමා මේ බිරිඳව හොයාගත්තේ. මම දන්න දවසේ ඉඳන් මේ දෙන්නා රණ්ඩු වෙනවා. දෙන්නට දෙන්නා චෝදනා කරගන්නවා. සතුටින් හිටිය කියලා එක දවසක්වත් මම දැකලා නෑ. මම නිතරම අහනවා උඹලට වෙලා තියෙන්නේ මොකක්ද කියලා. කිසිම දෙයක් අපට කියන්නේ නෑ. බැඳලා අවුරුදු පහක් වුණා. තාම දරුවනුත් නෑ. මේ විදියට කතාකරපු සුනිමල්ගේ මවගේ ඇස්වල කඳුළු පිරිලා තිබුණා. පිටරටවල නම් වයස අවුරුදු දාසයෙන් පස්සේ දරුවෝ නිදහස් කරනවා. ඒත් ආසියානු රටවල දරුවන් මුණුබුරන් පිළිබඳ මව්පියෝ සැලකිලිමත් වෙනවා. ඔවුන් පිළිබඳ අවධානය යොමුකරනවා. සුනිමල්ගේ අම්මත් ඒ වගේ කෙනෙක්. ඇය දරුවාගේ පවුල් ජීවිතය රැකගැනීම සඳහා ඉදිරිපත්වෙලා අපේ සායනයට ඔවුන්ව යොමුකළා. මම මුලින්ම කතාකළේ සුනිමල් සමඟ. ඔහු ඔහුගේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කළේ මෙහෙමයි.

අපි විවාහවෙලා අවුරුදු පහක් වෙනවා. අපි දෙන්නා හමුවුණේ පේරාදෙණියෙ සරසවියේදී. ඒ කාලයේ අපි හරිම සතුටින් සිටියා. අනිත් ආදරවන්තයෝ වගේම අපි හොඳට ආදරය කළා. ඇය ආදර පිබිදවීම් ප‍්‍රතික්ෂේප කළේ නෑ. සරසවියෙන් නික්මුනු අපි වසර දෙකකට පසු විවාහ වුණා. අපි මධුසමය සඳහා නුවරඑළියේ ලස්සන හෝටලයක් තෝරාගෙන තිබුණා. සිප වැළඳගැනීම් ඇරුණුකොට වෙන කිසිවක් අප අතර සිදුවූයේ නැහැ. ඇය මාව ප‍්‍රතික්ෂේප කළා. මම ඇගෙන් මාව ප‍්‍රතික්ෂේප කිරීමට හේතු විමසුවා. ඇස්වලට කඳුළු පුරවාගෙන බයෙන් තැතිගෙන සිටි ඇය මට මේ වගේ දෙයක් කිව්වා.

මම ඔයාට ආදරෙයි. ඒත් මට වෙන කිසිම දේකට කැමති වෙන්න බැහැ. ඇය පැත්තකට වුණා. මට ඇය ගැන දුකක් මෙන්ම තරහක්ද ආවා. අද වෙනතුරුත් අපි ජීවත්වෙන්නේ දෙපැත්තක.

ඔහු ඉවත් වූ පසු අපි සුමුදුගේ දෙසට හැරුණා. ඇය පැවසුවේ මේ වගේ දෙයක්. මම සුනිමල්ට හුඟක් ආදරෙයි. අපි දෙදෙනා අතර වෙන කිසිම ගැටලුවක් නෑ. ඒත් ලිංගිකව එකතුවෙන්න හදනකොට මට ලොකු බයක් දැනෙනවා. ඇය ලැජ්ජාවෙන් පැවසුවා. අපි ඊළඟට ප‍්‍රශ්න කළේ ඇයට ඇතිවන බය කුමක්දැයි හඳුනා ගැනීමට.

මම මුලින්ම ලිංගිකත්වය සම්බන්ධ කරුණු කතා කළේ උසස් පෙළ කරන කාලයේ. කුඩා කාලයේ දී මම හැදුන පරිසරයේ නම් කවදාවත් ඒ වගේ දේවල් කතාකළේ නෑ. අපේ අම්මයි තාත්තයි හරිම සැරයි. පංතියේ ගුරුවරයෙක් නැති වෙලාවට යාළුවොත් එක්ක එකතුවෙලා පිරිමි ළමයි ගැන අපි කතාකරනවා. දවසක් එක යාළුවෙක් පැවසුවා ප‍්‍රථම එක්වීම හුඟක් වේදනාකාරී ක‍්‍රියාවලියක් බව. එදා මට ලොකු බයක් දැනුණා. මේකේ සත්‍ය අසත්‍ය දැන ගැනීමට මගේ හිතේ ලොකු කුතුහලයක් තිබුණා. ඒ නිසා කාටත් හොරෙන් මම අපේ සෞඛ්‍ය කරපු ටීචර්ව මුණ ගැහුණා. ටීචර් කිව්ව දේවලින් මම තවත් බයවුණා. සුනිමල් ළඟට එද්දි මට ඒ බය දැනෙනවා. සුමුදු ඇගේ කතාව අවසන් කළා. ඇයත් ගොදුරු වී සිටියේ ඇතැම් කාන්තාවන් මුහුණපාන තවත් එක් දුබලතාවයකට. ඇයට තිබුණේ ලිංගික සංසර්ගය පිළිබඳ බයක්. මේ බය කුඩා කාලයේ යටි සිතට ඇතුළුවෙලා තියෙනවා. ඒ බය නිසාම යෝනි මාර්ගය පහළ කොටසේ මාංශපේශි දැඩි සංකුංචනයකට ලක්වෙනවා. ඉන් ඇයට වේදනාවක් ඇතිවෙනවා. මෙය ආදරය පිළිබඳව ගැටලුවක් නෙවෙයි. සිතේ ඇතිවන බිය නිසා සංසර්ගය ප‍්‍රතික්ෂේප කිරීමක් පමණයි. මේ තත්ත්වයට මනෝ විද්‍යාවේදී වජිනිස්මස් (Vaginismus) කියලා කියනවා. මීට හේතු රාශියක් විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. එක හේතුවක් තමයි ලිංගික කරුණු වැරදි ලෙස වටහා ගැනීම. ඒ වගේම කුඩා කල ලිංගික අපයෝජනයට ලක්වන දරුවන්ටත් මෙවැනි භීතීන් ඇතිවෙන්න පුළුවන්. 

සමහර අය දරු ප‍්‍රසූතියට බයවෙනවා. හේතුව පළවෙනි දරු ප‍්‍රසූතිය වේදනාකාරී වීම. ඒ බය ඇගේ මනසට ඇතුළු වුණාම ඇය ආයෙමත් දරුවෙක් හදන්න බය වෙනවා. ඒ නිසා සංසර්ගය ප‍්‍රතික්ෂේප කරනවා. මේ සියලු දේ සිදුවෙන්නේ භීතිය යටි සිතට ඇතුළුවීම හා ඒ සිතිවිලිවල බලපෑම නිසා යෝනි මාර්ගය අසල මාංශපේෂි සංකුංචනය වී වේදනාවක් ඇති කිරීම නිසා.

මේ වගේ ගැටලු ඇති කාන්තාවන් බොහෝ පිරිසක් අපේ සායනවලට එනවා. සමහර කාන්තාවන්ගේ මෙවැනි ගැටලු නිසා ඔවුන් ශාන්තිකර්මවලටද යොමු වෙනවා. ඒ වගේ මෝහනය කරන තැන්වලටත් යනවා. මෙවැනි මානසික භීතීන් ඇති වූ කාන්තාවන්ට මිත්‍යා පිටුපස ගිහින් නම් ඵලදායි දෙයක් ලබාගත නොහැකි වෙනවා. ඉන් සිදුවන්නේ මුදල් දී රැවටීම පමණයි. විද්‍යාත්මක ප‍්‍රතිකාරවලින් මෙවැනි භීතීන් සුවකර ගන්න පුළුවන්. ඒ වගේම මෙවැනි භීතීන්ට ලක්වුන කාන්තාවෝ පවුල් ගැටලු නිසා මානසික පීඩනයටත් ගොදුරු වෙනවා. ඉහත කතා කළ සුමුදුත් මානසික පීඩනයට ගොදුරු වෙලා හිටියා. දෙදෙනාටම තරහයාම, නින්ද නොයාම, කලකිරීම වැනි මානසික ව්‍යාධීන් ඇතිවී තිබුණා. වෛද්‍ය ප‍්‍රතිකාර ආරම්භ කරපු අපි මෙයාලව උපදේශනයටත් යොමුකළා. එහිදී මිත්‍යා විශ්වාස සහ ඇගේ සිතේ පැවති භීතිය අයින් කිරීම උපදේශනයේ පළමු කාර්යය වුණා. ඒ සඳහා අපි සිතිවිලි ප‍්‍රතිකාරය භාවිතා කළා. ඊළඟට ශරීරය සැහැල්ලු වීමේ ව්‍යායාම කියලා දුන්නා. ඉන් මනසත් ශරීරයත් දෙකම සැහැල්ලු කළා. මීළඟට යෝනි මාර්ගය අවට තදින් වේදනා දෙන මාංශපේශි සැහැල්ලු කරන ව්‍යායාම පුරුදු කළා. (Kegal Exercise) ඒ වගේම ලිංගික උද්දීපනය හා ආකර්ෂණය ඇති ව්‍යායාම කියා දුන්නා (Senate Aocus)’ මෙවැනි උපදේශන ක‍්‍රමවලින් සුමුදුගේ සිතේ ඇති බිය නැතිවුණා. සුනිමල් සහ සුමුදු දැන් සතුටින් සිටිනවා.

This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

0 comments: