ලිංගාශ්‍රිත රෝග හඳුනාගන්න.


මිනිස් සිරුර ලෙඩ රෝගවලට සංවේදීය. වෛරස් හා බැක්ටීරියා ආසාදනයන්ට මිනිසා ඉක්මනින්ම ගොදුරු වන්නේ එබැවිනි. මෙසේ ඇතිවන ඇතැම් රෝග එළිපිට කතා කරන ඒවා වුවද එළිපිට කතා කිරීමට අකැමැති මට්ටමේ ඒවාද වෙයි. රහස් ලෙඩ කියා තවමත් ඇතැමුන් හඳුන්වන ‘ලිංගාශ්‍රිත’ රෝගද එවැන්නකි.

‘ලිංගාශ්‍රිත රෝග’ වලටද වෛද්‍ය විද්‍යාත්මක දියුණු ප්‍රතිකාර ක්‍රම ඇති අතර එය නිසි කලට ලැබිය යුතු වෙයි. නොඑසේ නම් සිදුවන්නේ එම ආසාදනයන් සිරුර පුරා පැතිරී ස්නායු ෙසෙල අකර්මන්‍ය තත්ත්වයට පත් කිරීමයි. දැනට එච්.අයි.වී. ඒඩ්ස් ඇරුණු කොට අනෙකුත් ලිංගාශ්‍රිත රෝග සුව කිරීම සඳහා ප්‍රතිකාර ක්‍රම ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය මගිනුත්, දිවයින පුරා ජාතික රෝහල්වල පිහිටුවා ඇති එම ප්‍රතිකාර ඒකකයන් මගිනුත් ප්‍රතිකාර ලබාදීම සිදු කරයි. එබැවින්ම ලජ්ජාවට පත් නොවී තම පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගනිමින් අදාළ ප්‍රතිකාර ලබන්නට දැන් මෙම රෝගීන්ටද අවස්ථාව තිබේ.

ලිංගාශ්‍රිත රෝග

මෙම වචනය කී පමණින් ඇතැමුන්ට ගෙනෙන්නේ අපහසුවකි. නොඑසේ නම් ලජ්ජාවකි. කෙසේ වුවත් මෙවැනි රෝගයක් වැලඳුණහොත් එය සඟවාගෙන සිටීම රෝගය බරපතළ තත්ත්වයට පත්වීමට හේතුකාරක වන බැවින් වඩාත් වැදගත් වන්නේ ඉක්මනින් ප්‍රතිකාර ලබා ගැනීමයි.
ලිංගාශ්‍රිත රෝග බෝවන්නේ අනෙකුත් බැක්ටීරියා හා වෛරස් ආසාදන ඇතිවන ආකාරයට නොවේ. මේ සඳහා ලිංගික සබඳතා බලපායි. විශේෂයෙන්ම අනාරක්ෂිත ආකාරයෙන් සිදුවන ලිංගික සබඳතා මෙන්ම එක් විශ්වාසවන්ත සහකරුවකුගෙන් බැහැරව සිදු කරන ලිංගික චර්යාවන් හේතුවෙන්, රුධිර පාරවිලයන අවස්ථාවල මෙම අවදානම් ඇති වේ.

එසේ ඇතිවිය හැකි ලිංගාශ්‍රිත රෝග මොනවාදැයි බලමු.

* ගොනෝරියා
* හර්පිස්
 * සිපිලිස්, ඉන්නන්
* ගොනෝරියාව නොවන මූත්‍රා ප්‍රදාහය
* හෙපටයිටිස් බි
* කැන්ඩිඩයසියාව
* ඒඩ්ස්  එච්.අයි.වී.
මෙම රෝගයන්හි විවිධ ලක්ෂණ තිබේ. උදාහරණයක් ලෙස ලිංගාශ්‍රිත රෝගයක් වැලඳුණු කාන්තාවක හා ලිංගික සබඳතා පැවැතියේ නම් ඇය හා ලිංගික සබඳතා පැවැත්වූ අනෙක් පුද්ගලයාද එම ප්‍රතිකාර ලැබිය යුතුය. පුහුණු වෛද්‍ය හා හෙද කාර්යය මණ්ඩලයක්ද මේ සඳහා වෙන්ව ඇති බැවින් තම අනන්‍යතාව ආරක්ෂා කරගෙන අවශ්‍ය ප්‍රතිකාරය ලැබිමට අවස්ථාව තිබේ.

ගොනෝරියාව (Gonorrhoea)

මෙය වැලඳුණු කාන්තාවන්ගේ හා පිරිමින්ගේ රෝග ලක්ෂණ කිහිපයකි. මෙහි රෝග කාරකය වන්නේ ‘නයිසිරියා ගොනොරියේ’ නම් බැක්ටීරියාවකි. ආසාදනය ඇතිවී දින හතක පමණ කාලයකදී ලිංගේන්ද්‍රියෙන් ශ්‍රාව පිටතට ගැලීම සිදුවේ. මෙම ශ්‍රාව සුදු හා කහ පැහැයෙන් යුතුය. මූත්‍රා දැවිල්ලද ඇතිවිය හැක. සති තුනේ සිට මාස තුන හතරක් මෙහි බිජෞසන සමය ලෙස සැලකේ. මෙම රෝග ලක්ෂණ ඇත්නම් පරීක්ෂාවට ලක්වීම වැදගත්ය. එම ශ්‍රාව පටල ගෙන අන්වීක්ෂ පරීක්ෂාවක් මගින් රෝගය නිශ්චිතව හඳුනා ගැනීමත්, ප්‍රතිකාර ලැබිමත් කළ හැක.

හර්පීස් (Herpes)

මෙම රෝග කාරකය වන්නේ හර්පීස් සිම්ප්ලෙක්ස් (Herpes Simplex) ෛරසය යි. මෙම ආසාදනය ඇතිවී දින කිහිපයකට පසුව බිබිලි (තුවාල) හටගනී. එම තුවාල පිරිමින්ගේ නම් ශිෂ්ණ මුණ්ඩ කොටසේත්, කාන්තාවකගේ නම් යෝනි මාර්ගයේත් හට ගනී. මෙම තුවාල මතුවීමට ප්‍රථම කැසීමක්, වේදනාවක් හෝ උණ ගතියක් ඇතිවිය හැක. මෙය ඉබේම සනීප විය හැකි වුවද පසු අවස්ථාවල යළි රෝග ලක්ෂණ මතුවිය හැක.

සිපිලිස් (Syphilis)
මෙයට බලපාන්නේ ටි‍පෝනීමා පැලිඩම් (Treponema Pallidum) බැක්ටීරියාවයි. ආසාදනය වීමෙන් පසු ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව තුවාල හට ගැනීම සිදුවේ. පළමු අවස්ථාවේ මෙය හඳුනා ගැනීම අපහසු විය හැක. මෙය ඉබේම නැතිවී යා හැකි වුවද බැක්ටීරියාව ශරීරගතව ඇති බැවින් එහි ද්විතීය අවස්ථාවට ළඟාවිය හැක. එහිදී පලු දැමීමක් සිදුවන අතර රෝගය හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර නොකළහොත් තෘතිය අවස්ථාවට පත්වේ. මෙහිදී සමේ පලු හා දද මතුවන අතර තෘතික අවස්ථාවේදී ප්‍රතිකාර කිරීම සංකීර්ණ විය හැක.

ගොනොරියාව නොවන මූත්‍රා ප්‍රදාහය
මෙයට බලපාන්නේ ක්ලැමිඩියා වැනි බැක්ටීරියාවකි. මෙම ආසාදනය ඇතිවූ විට ලිංගේන්ද්‍රියෙන් සුදු පැහැ ශ්‍රාවයක් නිකුත් වන අතර මූත්‍රා දැවිල්ල මෙන්ම උදරයේ වේදනාව ආදිය ඇතිවිය හැක.
මෙම රෝග ලක්ෂණ දැක ගන්නට ලැබෙන්නේ එය ආසාදනය වී සති තුනක පමණ කාලයක් ගතවූ පසුය. මෙයද ඖෂධ ප්‍රතිකාර මගින් සුව කළ හැකි තත්ත්වයකි.

ඉන්නන්
ලිංගික ඉන්නන් ඇතිවීම බලපාන්නේද වෛරසයකි. එය හියුමන් පැපිලෝමා වෛරසය (Human Papolloma) ලෙස හඳුන්වයි. මෙය ආසාදනය වී මාස හයකදී පමණ ලිංගේන්ද්‍රිය ආශ්‍රිත පෙදෙසේ ගැටිති (ඉන්නන්) ඇතිවේ. ප්‍රතිකාර මගින් ඉන්නන් ඉවත් කළ හැකි අතර රසායනික වායුවක් (නයිට්‍රජන්) උපයෝගී කොටගෙන මෙම ඉන්නන් පිළිස්සීම මගින් විනාශ කෙරේ. මෙම ඉන්නන් කාන්තාවකගේ නම් යෝනි මාර්ගයේත්, පිරිමින්ගේ ශිෂ්ණයේ උඩු කොටසේත් ඇතිවිය හැක.

හෙපටයිටිස් බි (Hepatitis B)
මෙය හෙපටයිටිස් බි වෛරසය මගින් සිදුවන අතර ආසාදිත අයකුගේ රුධිරය නිරෝගී අයකුගේ ශරීරගත වීමෙන් රෝගය සෑදේ. (මෙය සෙංගමාල තත්ත්වයකි) කෙසේ වුවත් මෙය ලිංගික සබඳතා මගින් තවත් අයකුට සම්ප්‍රේෂණය විය හැක. මෙම රෝගය වැලඳුණ විට මූත්‍රා තද කහ පැහැතිය.

කැන්ඩිඩයසියාව (Candidiasis)
මෙය ලිංගිකමය හේතූන් මත ඇතිවිය හැකි දෙයක් නොවේ. ‘කැන්ඩිඩා ඇල්බ්කර’ නම් දියරය මීට බලපායි. මෙය ඇතිවූ විට ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව කැසීම, තුවාල මතුවීමක් සිදුවිය හැක. මෙහිදී අසාමාන්‍ය ලෙස ලිංගික ශ්‍රාව ඇති කරන අතර කැන්ඩිඩා දිලීර ආසාදනයේදී කැසීම සිදුවිය හැක. මෙය ඖෂධ මගින් සම්පූර්ණයෙන් සුව කළ හැකි තත්ත්වයකි.

එච්.අයි.වී. ඒඩ්ස් (HIV-Aids)
ආසාදිත පුද්ගලයකු සමග සිදුවන ලිංගික සබඳතා නිසා මෙය ඇතිවේ. මෙමගින් පුද්ගල ප්‍රතිශක්තිය හීන වී යන අතර මෙයද වෛරසයක් මගින් ඇතිවන රෝග තත්ත්වයකි. මෙම වෛරසය ආසාදිත අයකුගේ ලිංගික තරලවල සහ රුධිරයේ බහුලව ඇති අතර එම වෛරසය ශරීරගත වූවන් එච්.අයි.වී. ආසාදිතයන් ලෙස හඳුන්වයි. අනතුරුව එම පුද්ගලයා ‘ඒඩ්ස්’ තත්ත්වයට පත්වේ. එමවිට ප්‍රතිශක්තිය හා රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව නැතිවී යන අතර රෝගයන්ට පහසුවෙන් ගොදුරු වී වසර කිහිපයකදී මරණීය අත්දැකීම් ලබන්නටද සිදුවේ.

කෙසේ වුවත් බොහෝ ලිංගාශ්‍රිත රෝග වළක්වා ගත හැකි මට්ටමේ ඒවායි. ඒ සඳහා විශ්වාසනීය ලෙස අඹුසැමි ඇසුර පැවැත්විය යුතු අතර එහිදී එක් සහකරුවකුට සහකාරියකට සීමාවීම වැදගත්ය.

උපදෙස් – වෛද්‍ය සිසිර ලියනගේ, අධ්‍යක්ෂ – ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය
උපුටා ගැනීම රිවිර – සුවනෙත ඇසුරිනි

This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

0 comments: