Recent Articles

නිරෝගී දරුවකු හදාගන්න ආසයිද?


නියමිත කාලය සම්පූර්ණ කළ නිරෝගී, බුද්ධිමත්, පැහැපත් දරුවකු බලාපොරොත්තුවෙන් සිටින මවත් පියාත් බොහෝවිට ආයුර්වේදයේ සඳහන් සම්පූර්ණ කළ යුතු කාරණා තිබේ. ආයුර්වේදයේ සඳහන් වන්නේ අවශ්‍යම අවස්ථාවක දරුවකු ලබාගැනීම ඉතා වැදගත් බවය. 

වැඩිවියට පැමිණීමට පෙර සිටම ගැහැනු දරුවකු පිළිබඳව අවබෝධයෙන් සිටිය යුතු අන්දම ගැන පසුගිය දේශය “අපේ වෙදකම” ඔස්සේ අපි කතා කළෙමු. දරුවකු බලාපොරොත්තුවේ ඉන්න කෙනෙක් ප්‍රධාන වශයෙන් කරුණු හතරක් සම්පූර්ණ කළ යුතු වේ. 

නිතර නිදිමත දැනෙන පිරිමින්ගේ හෝමෝනවල ප්‍රශ්නයක් 

දරුවකු බලාපොරොත්තු වන පුරුෂයා සහ කාන්තාවගේ නීරෝගිකම ඉතා වැදගත්වේ. බොහෝ පවුල්වලට දරුවන් නොමැතිවීමේදී චෝදනාව ලබන්නේ කාන්තාවන් පමණි. ඔවුහු සමාජයේ වඳ ගැහැනුන් ලෙස හංවඩු ගැසෙති. නමුත් ඔබ ඇතැම්විට නොදැන සිටියාට අද වෙද්දී වඳ පිරිමිද ලොව පුරා වෙසෙති. නොයෙකුත් කරුණු නිසා ඔවුන්ට දරුවකු බිහිකිරීමට උදව්වීමට නොහැකි තත්ත්වයක් උදාවීම ඊට හේතුවය. 

පිරිමියෙකු දැනගත යුතු දේ :-

පිරිමියාගේ නියමිත නිවැරදි ගුණාත්මක තත්ත්වයෙන් යුත් ශුක්‍රාණු තිබිය යුතුය. නිතර කේන්ති යන කුකුල් කේන්තිකාරයකු වී අලසකම, නිදිමත ගතිය නිතර ඇති බොහෝ පුරුෂයන්ගේ යම් හෝ අඩුපාඩුවක් හෝමෝනවල තිබිය හැක. එය පරික්ෂා කිරීම ඉතා වැදගත්වේ.

අද ඇතැම් පිරිමි සිගරට් හා මත්පැන් භාවිතය මගින් සමාජයේ කැපී පෙනීමට උත්සාහ ගනිති. නමුත් එයින් ඔහුගේ නූගත්කම, හීනමානය ගම්‍ය වේ. අනිවාර්යයෙන්ම සිගරට් හා මත්පැන් භාවිතය ශරීරයට අහිත කරයි. ශුක්‍රාණු අඩු වීමක් විතරක් නොව පිළිකා තත්ත්වයන් ඇතිවීමටද බොහෝ ඉඩකඩ ඇත.

කුකුල් කේන්තිකාරයන්ට දරුඵල අහිමිවිය හැකියි 

දරුවකු බලාපොරොත්තු වන පිරියකුගේ ඉහළ මට්ටමේ ශුක්‍රාණු නිපදවීම පැය 48ක කාලයේදී සම්පූර්ණ වේ. මාස ගණනාවක් ශුක්‍රාණු නිපදවීමට කාලය ගත වන නමුත් නිපදවන ශුක්‍රාණුවල ගුණාත්මකභාවය තීරණය වන්නේ ශුක්‍රාණු පිට වීමෙන් පසුවය. දරුවකු බලාපොරොත්තුවෙන් නැවත එකතු වන්නේ නම් එය පැය 48කට පසුව සිදුකිරීම සාර්ථක වන්නේ එබැවිනි. දිනපතා සම්බන්ධවීමේදී ශුක්‍රාණුවල ගුණාත්මකතාවය යම් අඩුවීමක් ඇතිවේ. 

පුරුෂයාගේ හෝමෝනවල ස්වභාවය, ලේ වල ස්වභාවය පරික්ෂා කිරීම ඉතා වැදගත් වේ.

කාන්තාවන් දැනගත යුතු දේ:-

කාන්තාවන් යනු වචනය පරිසමාර්ථ අර්ථයෙන්ම බොහෝ ආකර්ෂණීය තැනැත්තියකි. නමුත් තමන්ට තමන්ගේ සිරුරවත් පාලනය කරගත නොහැකි බැරල් වැනි ශරීරයකට හිමිකම් කියනා කාන්තාවන් අප සමාජයේ ඕනෑතරම්ය. මේ නිසා දරුවකු බලාපොරොත්තුවන කාන්තාවන් විශේෂයෙන් කෑම පාලනය, ශරීර පාලනය ඉතා වැදගත් කොට සැලකීම අවශ්‍යය.

දරුවකු නොමැති කාන්තාවන්ට මූලික ලේ පරික්ෂා සිදුකොට හෝමෝනවල තත්ත්වය පිළිබඳව තීරණයක් ගත හැක. වැඩිවීමට පැමිණීමත් සමඟ ස්වභාවයෙන්ම කාන්තාවන්ගේ හෝමෝනවල ක්‍රියාකාරිත්වය හරි හැටි සිදුවන්නේ නම් ඇයට උසට සරිලන බරක් හා ආකර්ෂණීය සිරුරක් හිමිවේ. කාන්තාවගේ හෝමෝනවල විවිධ වෙනස්කම් ඇතිවීමට මූලික හේතුව ආතතිය වේ.

දිනපතා ලිංගිකව එක්වුණොත් ශ්‍රකාණුවල ගුණාත්මකභාවය අඩුවෙයි 

ඔසප්වීමේ යම් යම් වෙනස්කම් ඇත්නම් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයකු ලවා ඒ සඳහා ප්‍රථිකාර ලබාගන්නට වගබලා ගැනීම අවශ්‍යය. 

දරුවකු බලාපොරොත්තුවෙන් යුවළක් සම්පුර්ණ කළ යුතු ප්‍රධාන කරුණු 04කි. 

01. සෘතු
02. ක්ෂේත්‍ර
03. අම්ල
04. බීජ

සෘතු :- 

සෘතු කාලය ලෙසින් හඳුන්වන්නේ කෙනකුගේ සරු කාලයයි. කාන්තාවන් ඔසප් වීමක් වි දරුවකු බලාපොරොත්තුවෙන් සරු ඩිම්බයක් මුදා හරිනු ලබන කාලය මෙම සෘතු කාලය ලෙස හැඳින්වේ. එනම් දින 28කට වරක් ඔසප්වීමක් වන කාන්තාවක්නම් ඇයගේ සරු කාලය ලෙස හැඳින්වන්නේ ඔසප් වීමේ පළමු දිනයෙන් පසුව එළඹෙන 14 වැනි දිනයි. නමුත් ඔසප් වීමේදී දින වෙනස්වන කාන්තාවකගේ මෙය වෙනස් වේ. එවැනි කාන්තාවක් තමන්ගේ අවසාන ඔසප්වීමේ සිට දින සිට දාහතරක් ඉදිරියට ගණනය කරන්න. එවිට සරු කාලය තීරණය කරගත හැක.

එවැනි සරු කාලයේදී නිවැරදිව ඩිම්බයක් මුදාහල විට එයට ශුක්‍රාණුවක් එක් වී නොමැතිනම් අනිවාර්යයෙන්ම ඇයට ඔසප්වීම් සිදුවේ. සරු ඩිම්බයක් හා ශුක්‍රාණුවක් එකතු වුණිනම් අනිවාර්යයෙන්ම දරුවකු බලාපොරොත්තු විය හැක.

සෘතු කාලය ඕනෑම කාන්තාවකගෙන් පිළිඹිඹු වේ. එවැනි කාලයේදී වෙනදාට වඩා පිරිමින්ගේ ආකර්ෂණය වැඩිවේ. ඇය ප්‍රබෝධමත්ව සිටී. කාන්තාවගේ හැටහතර මායම් ඒ කාලයේදී වැඩි වශයෙන් දැකගත හැක. එය ස්වභාවිකවම ප්‍රජාවක් සෑදීමට කෙරෙන උපක්‍රමයකි. ඩිම්බයක් මුදාහරිනු ලබන මෙම සමයේදී පිරිමින්ගේ ආකර්ෂණය වැඩිබව කීවත් අද වෙද්දී කාන්තාවන් සෑම පස් දෙනකුගෙන්ම එක් අයෙක් සරු බීජ මුදාහැරීමේ විවිධාකාර ගැටලුවලට මුහුණ පායි. විශේෂයෙන් යෝනි මාර්ගය ආශ්‍රිතව තෙත් වීම, ලිංගිකව එක්වීමට ඇති හැකියාව, වැනි තත්ත්වයන් සරු කාලය තුළදී කාන්තාවගේ ලක්ෂණ වේ. බොහේ අයට යෝනි මාර්ගය අවට වියළි ස්වභාවයක් පැවැතීම නිසා එක්වීමට නොහැකි තත්ත්වයක් උදා වෙයි. එවැනි තත්ත්වයක් ඇති වන්නේ නිසරු බීජ හේතුවෙනි. 

ක්ෂේත්‍ර :-

මෙම තත්ත්වයට කාන්තාවගේ සුදයාමා දිලීර වර්ග ආසාදනය වැනි තත්ත්වයක් ප්‍රබල ලෙස හේතුවේ. අද බොහෝ කාන්තාවෝ පොදු වැසිකිළි භාවිතා කරති. මේ හේතුවෙන් බැක්ටීරියා හා දිලීර ආසාදන යෝනි මාර්ගයට ඇතුළු වීම සිදුවිය හැකිය. කාන්තාවන්ගේ ප්‍රජනන ඉන්ද්‍රිය පද්ධතිය විසබීජ ඇතුළුවීමට පහසු ලෙසින් සැකසී ඇත. යෝනි මාර්ගය අභ්‍යන්තරයට නෙරා තිබීමත් ගර්භාෂය, පැලෝපිය නාළය ඩිම්බ කෝෂ ඒ අසලින් පිහිටා තිබීමත් මුත්‍රාශයට බොහෝම සමීපව යෝනි මාර්ගය හා ගුද මාර්ගය පිහිටා තිබීමත් නිසා මේ තත්ත්වය ඇති වේ. යම් හෙයකින් ගුද මාර්ගයේ පණු රෝග ඇතිනම් යෝනි මාර්ගයටද එය පැතිරීයාමේ අවදානම වැඩිය. 

 කාන්තාවන්ට බැරල් වැනි ශරීර සුදුසු නැහැ 

එමෙන්ම ගර්භාෂයේ ගෙඩි, ඩිම්බ කෝෂ ආශ්‍රිත රෝග වැනි තත්ත්වයන්ද මෙයට හේතු වේ. ගර්භාෂය ස්වරූපය සාමාන්‍යයෙන් අපගේ මිට මෙලවූ අතකට සමානයි. නමුත් මෙහි යම් ගෙඩි හටගන්තොත් එහි ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් වේ. එවිට කළලයකට රැඳිය නොහැක. රුඳුණද මාස තුනක් ඇතුළත ගබ්සාවකින් කෙළවර වේ.

පුරුෂයාගේද අණ්ඩකෝෂ සහ ශික්ෂණය පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. කුඩාකලදී යම් දෙයක් තදින් වැදීම, කම්මුල් ගාය වැනි තත්ත්වයන් නිසා අණ්ඩකෝෂ විශාල වූ අයටද අණ්ඩකෝෂ කුඩා අයටද දරුවකු ලබාගැනීම දුෂ්කර විය හැක. එවැනි තත්ත්වයක් ඉතා ඉක්මණින් වෛද්‍ය පරික්ෂාවලට යොමුකළ යුතුය. එමෙන්ම විවාහයට පෙර වෙනත් අය හා ලිංගිකව එක්වීමද වෙනත් වෙනත් රෝග සඳහා අතවැනීමකි. 

අම්ල :-

අම්ල ලෙසින් හඳුන්වන්නේ හෝමෝනවල සමතුලිතතාවයයි. ඒ සඳහා කාන්තාවන්ට හා පිරිමින්ට වෙන වෙනම පරික්ෂා කෙරේ. ඔසප් වීම සිදුවූ පළවැනි දිනය සිට 5 වැනි දිනය අතර (1-5 අතර) කරනු ලබන රුධිර පරික්ෂාව FSH / LH, Prolactin ලෙසින් හැඳින්වේ. එමෙන්ම හරියාකාරව දින 21න් Serum Progesterone පරික්ෂා කළ යුතුවේ. මේ පරීක්ෂාවලින් කාන්තාවගේ නිරෝගිකම පිළිබඳව හා හෝමෝනවල ක්‍රියාකාරීත්වය තත්ත්වයන් තීරණය කළ හැක. 

එමෙන්ම පිරිමින් සඳහා SFA (Semnig Fluid Anolysig) නම් ශුක්‍රාණු පරික්ෂා කළ යුතුවේ. 

ඊට අමතරව කාන්තාවන් දරුවකු බලාපොරොත්තු වන්නේනම් RH සාධකය පරික්ෂා කළ යුතුය.

බීජ :- 

හෝමෝන සරු නම් අනිවාර්යයෙන්ම බීජද සරුසාර මෙම සරු බීජ නිරෝගි දරුවකු සඳහා අවශ්‍ය වේ. නිරෝගි ගැහැනු බීජයත්, නීරෝගි පිරිමි බීජයත් නිරෝගි මනසකින් එක්වීමෙන් නිරෝගි දරුවෙක් බිහිවෙයි. 

කාන්තා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ ආයුර්වේද වෛද්‍ය ආචාර්ය දයානි සිරිවර්ධන

♦ දිශානි ජයමාලි කරැණාරත්න 

This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

ලිංගික ශක්තිය වඩවන ඉංග්‍රීසි බෙහෙත් තිබේද?


‘බටහිර වෙදකමේ වාජීකරණ ඖෂධ සහ ප්‍රතිකාර නැත්තේ මන්දැයි’ පසුගිය දිනෙක මගේ හිතවතෙක් අසා සිටියේය. එහිදී ඔහු කීයේ  සාර්ථක යුග දිවියක් සඳහා ඉවහල්වන අඹු - සැමි සබඳතා සඳහා මනා පිටිවහලක් දෙන වාජීකරණ විෂයට පැරණි ආයුර්වේදයේ ප්‍රධාන තැනක් ලැබී ඇති බවය. ඒ අතින් බටහිර වෛද්‍ය විද්‍යාව ඒ සම්බන්ධයෙන් උනන්දුවක් පළ නොකරනුයේ මන්දැයි ඔහු මගෙන් විමසා සිටියේය.

සාර්ථක යුගදිවියක් සඳහා ඉවහල්වන මනා ලිංගික සබඳතාවයක් සඳහා යොදා ගන්නා බව පැවසෙන ‘කාමෝද්දීපක (Aphrodisiac)’පිළිබඳව ලොව පුරා ජනතාව තුළ මහක් කුතුහලයක් සහ උනන්දුවක් පවතී. විශේෂයෙන් පුරුෂ ශක්තිය වර්ධනය වීම සම්බන්ධ ආහාර, ඖෂධ සහ වෙනත් චිකිත්සක ක්‍රම බොහොමයක් ලොව පුරා පවතින බව නොරහසකි. අපගේ දේශීය වෙදකමේද එවැනි දේ ඇති බව පෙනේ.

මෙහිදී පුරුෂයන් සම්බන්ධයෙන් බලපවත්නා ‘ලිංගික බෙලහීනතා (Sexual Dysfunction)’ සේ සැලකෙන ප්‍රධානතම තත්ත්වයන් දෙකකි. එනම් ලිංගික අප්‍රාණිකත්වය සහ ‍ක්ෂණික මෝචනය යන තත්ත්වයයි. මෙම තත්ත්වයන් කායික, මානසික සහ ඒ දෙයාකාරයේම හේතුමත පැනනැගිය හැකි බව මෙතෙක් සිදුකරන ලද සමීක්ෂණයන්ගෙන් තහවුරු වී තිබේ.

කල්ගත වූ දියවැඩියාව ඇතුළු අන්තරාසර්ග පද්ධතියට බලපාන රෝග තත්ත්වයන් නිසා මෙම ඉන්ද්‍රිය අප්‍රාණිකත්වය කායික වශයෙන් හට ගත හැකි අතර ඇතැම් ඖෂධයන්හි අතුරුඵල ආදී වෙනත් හේතූන් මත ද කායිකව මෙම තත්ත්වය බලපෑ හැක.

පිරිමින් තුළ පවතිනා ක්ෂණික මෝචනය නම් තත්ත්වයද පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ අවස්ථානෝචිත ලෙස වෙනස් විය හැකි අතර එය රෝගයක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ICD 10 සංග්‍රහයේ S 52.4අංකය යටතේ ලැයිස්තු ගත කොට ඇත.

ලිංගික ශක්තිය ඇතිවනුයේ මොළයේ ඇති වන අනුරාගී හැඟීම් මත පදනම් වන කායික මානසික ක්‍රියාකාරීත්වය අරමුණු කර ගනිමිනි. එය මොළයේ හෝමෝන ක්‍රියාකාරීත්වය මත පදනම් වන්නකි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට අඩුවැඩි වශයෙන් බලපාන තත්ත්වයකි.

එහෙත් ලිංගිකත්වයට බලපාන ද්විතීක සාධකය වන කායික මානසික උත්ඡේදන සඳහා බටහිර ඖෂධ මගින් යම් බලපෑමක් සිදු කළ හැකි බව මේ වන විට අනාවරණය වී තිබේ. ඒ ඇතැම් ඖෂධ හුදෙක් කාමෝද්දීපනය අරමුණුකොට නිශ්පාදනය වූ ඒවා නොවේ. වෙනත් රෝගාබාධ සඳහා නිශ්පාදනය වන ලදුව එහි අතුරු ඵලයක් වශයෙන් අන්තරාසර්ග පද්ධතිය උත්තේජනයට ලක් කෙරෙන ඒවාය. නිදසුනක් ලෙස ‘පුප්පුසීය රුධිර පීඩනය(Pulmonary Hypertension)’ සඳහා දෙනු ලබන ඇතැම් ඖෂධයක අතුරුපලයක් ලෙස පුරුෂ ඉන්ද්‍රිය ප්‍රාණවත්වීම කෙරෙහි යම් බලපෑමක් සිදුවන බව සොයා ගෙන තිබේ. ඉන්පසු එය ලොව පුරා එවන් තත්ත්වයෙන් පෙළෙන්නවුන් සඳහා ඖෂධයක් ලෙස නියමකරන ලදී. එහෙත් එම ඖෂධ හුදෙක් වෛද්‍ය නියමයන්ට අනුවම ගත යුතුය. නැතහොත් ප්‍රථිපල අති බිහිසුණු විය හැක.

එමෙන්ම ඇතැම් ආතති විරෝධී ‍ඖෂධ (Antidepressants)නීරෝගී පුද්ගලයන්ට ලබාදීමේදී අනුරාගී පිබිදීම් වල ඇතිවන පසුගාමී බව මුල්කොට ක්ෂණික මෝචනයට අනියම් ප්‍රතිකාරයක් ලෙස එය ද යොදා ගන්නා අවස්ථා තිබේ. ඒ හැරුණු කොට ශරීරයේ විවිධ ප්‍රදේශ සඳහා ගල්වන නිර්වින්දක ඖෂධ (Anesthetic) ඇතැම් වේදනා නාශක ආදිය යොදා ගැනීමෙන් ඇතිවන ස්නායු සංවේදීතාව අවම වීම මෙම ක්ෂණික මෝචන තත්ත්වයට පිළියම් වශයෙන් සමහරු යොදති. ඒ එමගින් ලිංගික කාරියේ දී ඇතිවන සතුට සඳහා පදනම් වන ඉන්ද්‍රීය සංවේදීතාව අඩුවන නිසාය.

ඒ කෙසේ හෝ ඉහත සඳහන් කළ පරිදි කායික, මානසික සහ දෙයාකාරයේම පුරුෂ ලිංගික බෙලහීනතා දුරළීම සම්බන්ධයෙන් විද්‍යාත්මක වශයෙන් සායනිකව තහවුරු කළ ප්‍රතිකාර බටහිර වෛද්‍ය විද්‍යාව සතුව ඇති අතර බොහෝ දුරට විකල්ප වෛද්‍ය ක්‍රම තුළ ඇත්තේ එසේ ලිංගික ශක්තිය වැඩෙන බවට ජන විඥානයේ තහවුරු වූ ආහාර සහ ඖෂධ වර්ග පමණි.

එහෙත් මා ඉහත සඳහන් කළ අන්දමට ලිංගික ශක්තිය බොහෝදුරට මානසිකත්වය මත පදනම් වන බැවින් එම ආහාර සහ ඖෂධ වලින් තමන් තුළ ලිංගික ශක්තිය වැඩිවෙතැයි ඇතිවන හැඟීම් මත පදනම් වන ‘තුෂ්ටක බලපෑම (Placebo effect)’ නිසාද ඉන් සාධනීය ප්‍රතිපල ලැබෙන අවස්ථා තිබීමට පුලුවන.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ බටහිර වෛද්‍ය විද්‍යාව සතුව නොමැති ‘වාජීකරණ ඖෂධ’ ඇති බවට ජන විශ්වාසයක් ඇති වී ඇත්තේ ඒ නිසාය.

හෘදරෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වෛද්‍ය පීඨය,
ශ්‍රීමත්ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය,
රත්මලාන.

This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

ඔක්කොම හොයන ලිංගික සතුට.


සාර්ථක පවුල් ජීවිතයක් පවත්වාගෙන යාමට නම් එම පවුලේ කාන්තා, පිරිමි දෙපාර්ශ්වය අතර මනා ලිංගික සබඳතාවයක් පැවතීමද අනිවාර්ය අවශ්‍යතාවයකි. පිරිමියා හෝ කාන්තාව ලිංගිකත්වය අතින් දුර්වල වීම පවුලක කඩාවැටීමට බොහෝදුරට හේතුසාධක වන අතර අයථා සම්බන්ධතාවයන් ඇතිවීම කෙරෙහිද මෙවැනි තත්ත්වයන් බලපායි. මෙහිදීද පිරිමි පාර්ශ්වය ගත්විට ලිංගික අප්‍රාණිකත්වය හා මඳසරු බව අද පිරිමින් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකි. ආයුර්වේදීය ප්‍රතිකාර ක්‍රම හරහා මෙවැනි තත්ත්වයන් මුළුමනින්ම වාගේ වළකා ගැනීමේ හැකියාව ඇති අතර බොහෝ දෙනකු මෙවැනි රෝග තත්ත්වයට පත්වන්නේ නොදැනුවත් බව නිසාවෙනි. අද අපේ වෙදකමෙන් අප අවධානය යොමු කරන්නේ වාජීකරණය හා පිරිමින්ගේ මඳසරු බව පිළිබඳවයි. මේ සම්බන්ධයෙන් අපව දැනුම්වත් කරන්නේ ආයුර්වේද වෛද්‍ය සුජීව විතානගේ මහතායි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියන්නේ ඈත අතීතයේ ඉඳලාම ඉතා පැහැදිලිවම මිනිසාට ප්‍රතිකාර කිරීම සඳහා හොඳින්ම සංවිධානය වුණු වෛද්‍ය ක්‍රමයක්. වර්තමාන වෛද්‍ය විද්‍යාව අනුව රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී අපි විවිධ කාණ්ඩවලට බෙදාගෙන තිබෙනවා. ළමා රෝග, ස්ත්‍රී රෝග, ශල්‍ය අංශය, චිකිත්සා, අස්ථි සන්ධි ආදී වශයෙන්. අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළද බොහොම පැහැදිලිව ප්‍රතිකාර ලබාදෙන්නේ අටවැදෑරුම් ක්‍රමවේදයක් ඔස්සේයි. මෙතනදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෙ එකල සමාජ අවශ්‍යතාවයක් ලෙස ගත්තත්, රාජ්‍ය නියෝගයක් ලෙස ගත්තත් විශේෂයෙන්ම සාකච්ඡා වුණු දෙයක් තමයි රසායනික ප්‍රතිකාර හා වාජීකරණ ප්‍රතිකාර කියන දේ. මේක එදා දවස තුළ සමාජයට ඉතා වැදගත් සාධකයක් වෙලා තිබුණා. දැන් අපි අද රූපලාවණ්‍ය ගැන මහ ඉහළින් යම් යම් දේ කරගෙන යද්දී මේ අවුරුදු තුන් හතර දහසකට පෙර කොහොමද අපේ රූප සම්පත්තිය හොඳින් පවත්වා ගත්තේ, තරුණ බව කොහොමද පවත්වා ගන්නේ කියන එක අපේ වෛද්‍ය ක්‍රමය තුළින් හොඳින් සාකච්ඡා වෙලා තියෙනවා. රසායන ප්‍රතිකාර ක්‍රමවේදය තුළ කතාකර තිබෙන්නේම නිරෝගීව සිටීම හා වයසට යාම වළක්වා ගැනීම කියන කාරණා පිළිබඳවයි.

ඊට අමතරව වාජීකරණ තන්ත්‍රය ගත්තම මෙම වාජීකරණය එදා සමාජයට කාරණා කිහිපයක් මත අවශ්‍ය වුණා. ඉන් එකක් තමයි හොඳ ප්‍රජාවක් පවත්වාගෙන යාම. ශ්‍රමය මූලික කරගත් එවක සමාජය තුළ මනුෂ්‍යයා වැදගත් සාධකයක් වුණා. ඒ නිසා වර්ගයා බිහිකිරීම කියන කාරණයට ඉතා වැදගත් ස්ථානයක් දීලා තිබුණා.

එකල රජවරුන්ට වුණත් තමාගේ ලිංගික අවශ්‍යතාවයන් සඳහා අන්තඃපුරය වෙත පිවිසීමේදී වඩාත් ශක්තිමත් ලෙස ඒ කර්තව්‍යයන්හි නියැළීමට මංපෙත් හෙව්වා. ඒ අනුව තමයි මේ වාජීකරණ තන්ත්‍රය දියුණුවෙලා අපේ වෙදකම ඇතුළේ තියෙන්නේ.

ඔබ සතුටින්ද?

ලිංගිකත්වය යන්න ආසියානු සමාජය තුළ විවෘතව කතා නොකරන මාතෘකාවකි. ලිංගිකත්වය ගැන කතා කිරීමට ඇති අපහසුතාවය නිසාම පවුල් සංස්ථාව තුළ අතිශයින්ම පීඩාකාරී, වේදනාකාරී ජීවිත ගත කරන පිරිස් සිටින බවට පිළිගත යුතුය. ඇත්තෙන්ම අද වනවිට වැඩිදෙනා සිටින්නේ සතුටින් නොවේ යැයි කිවහොත් ඇතැම් පිරිස් එය පිළි නොගනු ඇත. නමුත් සත්‍යය එයය. සෑම මනුෂ්‍යයකු හටම කන්න බොන්න, ඉන්න හිටින්න සේම නිදහස් ලෙස ජීවත්වීමටද හැකියාව තිබිය යුතුය. මේ දේවල් හරිහැටි ඉටු නොවීමේදී ඔහු කායිකාව මෙන්ම මානසිකවද පිරිහීමට ලක්වේ. එය මුළු ජීවිතයටම බලපාන්නක් වන අතර ඔහුගේ ලිංගික ජීවිතයටද ඍජුවම එය බලපායි.

වාජීකරණ චිකිත්සා

පුරුෂයන්ගේ ලිංගික දුර්වලතාවයන් මර්දනය කිරීම වාජීකරණයේදී සිදුකෙරෙන අතර ආයුර්වේදයේ වාජීකරණ චිකිත්සා ක්‍රම කිහිපයක්ම ඇත. එසේම ලිංගික දුර්වලතා සඳහා ඇතැම් විට මානසික හේතූන්ද බලපාන අතර මේ සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ඉතාම හොඳ මානසික ප්‍රතිකාර පද්ධතියක්ද ඇත. ඊට අමතරව ශක්තිමත් පුද්ගලයකු බිහිකිරීම සඳහා දිනෙන් දින ඒ පුද්ගලයාට ලබාදිය යුතු පෝෂණ ඖෂධ සම්බන්ධයෙන්ද ආයුර්වේදයෙහි සඳහන්ව ඇත.

පවුල් ජීවිතය තෘප්තිමත්ද?

පවුල් ජීවිතයක තෘප්තිමත් භාවය පවත්වාගෙන යාමට ලිංගිකත්වය ප්‍රබලතම සාධකයක් බව අපි මුලදීද සඳහන් කළෙමු. අද වනවිට බොහෝ දෙනෙකුගේ පවුල් ජීවිත අතෘප්තියෙන් පිරී ඇති අතර මේ බොහොමයක් ගැටලු ඇතිවීම සඳහා බලපා ඇත්තේ පුද්ගලයන්ගේ නොදැනුවත්භාවයයි. සාකච්ඡා කිරීම, තිබෙන දුර්වලතාවයන් නැතිකර දැමීම හරහා තෘප්තිමත් ජීවිතයක් අත්පත් කරගත හැක. ජීවිතය යනු මුදල් පසුපසම හඹා යන්නක් නොවන බවද මෙහිදී අවබෝධ කරගත යුතු අතර ප්‍රතිකාර ක්‍රියාවලියේ මූලිකව සිදුකළ යුත්තේ හොඳ මානසික තත්ත්වයක් පවත්වා ගැනීමය.

දුර්වල ලිංගිකයන් හැමවිටම ආවේගශීලියි

යම් පුරුෂයකු ලිංගික දුර්වලතාවයකින් පෙළෙන්නකු නම් ඔහු විවාහවීමටද යම් මැලිකමක් දක්වන අතර ඔහුගේ විවාහ ජීවිතය කිසිදු ලෙසකින් සාර්ථක එකක් වන්නේ නැත. මොහු සමඟ විවාපත් වන කාන්තාව තම පවුල රැකගැනීමේ උවමනාව නිසාම ලිංගික ජීවිතයේ අසීරුතාවන් ඉවසා සිටින අතර ඇයද ජීවිතයේ කිසිදු සතුටක් නොලබයි. එසේම ලිංගික ශක්තියෙන් දුර්වල පුරුෂයා හට තම ලිංගික ජීවිතයේ සතුටක් නොලබන නිසාම ඔහු හැමවිටම ආවේගශීලී ගතිගුණ පෙන්නුම් කරයි.

ඇඟ තිබුණාට වැඩ නෑ

ලිංගික එක්වීමකදී කාන්තාව හා පිරිමියා යන දෙපාර්ශ්වය අතර මනා අවබෝධයක් තිබීම ඉතා වැදගත්ය. ලිංගික කාර්යාවලියෙහි නියැළෙන අතරතුර එක් අයකු තවත් කෙනකුගේ දුර්වලතාවයන් එකවරම ප්‍රකාශ කිරීමෙන් එම පුද්ගලයා මානසිකව ඇද වැටීම නිසා එම ක්‍රියාවලිය හරිහැටි සිදුකරගත නොහැකි වේ. එක් වෛද්‍ය සායනයකට පැමිණි යුවලකගේ ගැටලු සම්බන්ධයෙන් කතා කිරීමේදී මේ බව මනාව පැහැදිලිය. මෙම යුවල පාසල් කාලයේදී වසර කිහිපයක්ම පෙම්වතුන් වූ අතර විවාහ වී ටික කලක් ගතවීමෙන් අනතුරුව ඔවුන් ලිංගික ජීවිතයට විරාම තබා ඇත. එයට හේතු වශයෙන් එම පුරුෂයා පවසා තිබුණේ ලිංගිකව එක්වන අවස්ථාවේදී ඔයාගේ ඇඟ විතරයි වැඩ නෑ කියා කාන්තාව පැවසීමත් සමගම ඔහු ඇය සමඟ එක්වීම නතර කිරීමය. මෙහිදී පුරැෂයා දිගින් දිගටම තම බිරිඳව ප්‍රතික්ෂේප කරන්නේ එම මොහොතේ තම මානසික ශක්තිය දුර්වල වීමත්, තමා දුර්වලයෙකු බවට නොපිළිගන්නා පුරුෂාධිපත්‍ය ඉදිරියට පැමිණීම නිසාය.

දියවැඩියාව, හෘද රෝග ලිංගික ජීවිතය දුර්වල කරයි

විවිධ වූ රෝග අවස්ථාවන් ලිංගික බෙලහීනතාවය ඇතිවීම සඳහා ඍජුවම බලපාන අතර දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග, පිළිකා, වකුගඩු රෝග, ස්නායු රෝග, හෝමෝනවල ගැටලු මේ සඳහා නිදසුන්ය. දියවැඩියාව වැනි රෝග අවස්ථාවන් ගත්විට වසර හය හතක් පමණ දියවැඩියාවෙන් පෙළෙන්නකු ස්වභාවිකවම ලිංගික බෙලහීනතාවයට පත්විය හැකිය. අනෙකුත් රෝග අවස්ථා සඳහාද මෙම තත්ත්වය මෙසේම වන අතර මෙම රෝගවලට ප්‍රතිකාර කිරීම හරහා මෙවැනි ගැටලු මගහරවා ගැනීමේ හැකියාව ඇත. එහෙත් දියවැඩියාව වැනි අවස්ථාවකදී මෙම තත්ත්වය සුව කිරීම මඳක් අපහසුය.

නාකි විසේ ගෙටත් උසේ

ලිංගික බෙලහීනතාවය ඇතිවීම සඳහා සියයට 90ක් පමණම බලපාන්නේ මානසික හේතූන්ය. විවිධ පුද්ගලයන්හට මෙම තත්ත්වය විවිධ වන අතර ඇතැම් පුද්ගලයන් වැඩිපුරම ලිංගිකව ක්‍රියාශීලී වන්නේ වයස අවුරුදු හැට හැත්තෑවක් පසුවූ පසුවය. මේ සඳහා ඒ ඒ පුද්ගලයන්ගේ ග්‍රහචාරයද හේතුවිය හැකිය. මීට අමතරව තරුණ වයසේදී ඉතාම ශාන්ත කිසිම හැඟීමක් දැනීමක් නැති පුද්ගලයන් ලෙසද සිටින පිරිසක් ඇත. ඔවුන් පසුකාලීනව එලෙස හැසිරෙන්නේ කුමන හේතුවක් නිසාදැයි ජීව විද්‍යාත්මකව පෙන්වීමේ හැකියාවක් නැත.

බාල අපචාර ලිංගික බෙලහීනතාවයට හේතුවක්

බාල අවධියේදී යම් අපචාරයකට ගොදුරු වූ පුද්ගලයකු වැඩිවියට පත්වීමෙන් පසුව බෙලහීන ලක්ෂණ පෙන්නුම් කළ හැකිය. එසේම නිවැරදි අධ්‍යාපන ක්‍රමවේදයන් අනුගමනය නොකළ පිරිස් මෙන්ම සංස්කෘතිය, සදාචාරය කෙරෙහි අවශ්‍ය ප්‍රමාණයටත් වඩා යොමුවූ පිරිස්ද ලිංගික වශයෙන් යම් පසුබෑමක් දක්වන පිරිස් අතර වේ.

විකෘති ලිංගික ක්‍රියාකාරකම් 

ගෝලීයකරණයත් සමඟ සමාජයේ බොහෝ දෙනාගේ ක්‍රියාකාරීකම්වලද යම් යම් වෙනස්කම් සිදුවී ඇති අතර විකෘති ලිංගික ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි වශයෙන් යොමුවීමටද සමාජයෙහි බහුලවම දක්නට ලැබෙන්නකි. මේ නිසා බොහෝදුරට සිදුවන්නේ තමන්ගේ ස්වභාවික ලිංගික ශක්තිය හීන වීමයි. මත්ද්‍රව්‍ය, මත්පැන්ද මේ කෙරෙහි බලපෑම් ඇති කරයි.

ළමයින්ට නුසුදුසුයි

අන්තර්ජාලය මගින් සිදුකරන බලපෑම් ඇතුළු තවත් කාරණා හරහා දරුවන් තමන්ට නුසුදුසු වයසේ පටන්ම ලිංගික අත්දැකීම් ලබාගැනීම ඉතා භයානක තත්ත්වයකි. මෙවැනි දේට කුඩා කළ පටන්ම පෙළඹීම නිසා මොවුන් අවුරුදු 30 පමණ වනවිට ඔවුන්ට තවත් ලබාගත යුතු ලිංගික අවශ්‍යතාවන් නොමැති හෙයින් ජීවිතේ එතැනින් එහාට ඔවුන් සිදුකරන ලිංගික ක්‍රියා විකෘති මට්ටමේ ඒවා විය හැකිය.  එවැනි පුද්ගලයන් තමන්ගේ ඉදිරි ලිංගික ජීවිතය තුළ ආදරය, හැඟීම්, සතුට මේ කිසිදු දෙයක් ලබා නොගනී.

වාජීකරණ ප්‍රතිකාර

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ එන වාජීකරණ ප්‍රතිකාර හරහා ලිංගික ක්‍රියාවන් සඳහා අවශ්‍ය කායික ශක්තිය වර්ධනය කිරීම සිදුකරනු ලැබේ. එම ප්‍රතිකාර හරහා හොඳ ශක්තිවන්ත පුද්ගලයකු සමාජයට බිහිකිරීම සිදුකෙරේ. එදා වාජීකරණ ප්‍රතිකාර අවශ්‍ය වූයේ සමාජ අවශ්‍යතාවයන් පවත්වා ගැනීමටය. නමුත් අද වනවිට ඒ තත්ත්වය බොහෝදුරට වෙනස් වී ඇති අතර වර්තමානයේ බොහෝ දෙනා වාජීකරණය කෙරෙහි යොමුවන්නේ ලිංගික ජීවිතයේ සතුට වර්ධනය කර ගැනීම සඳහාය. කෙසේ වෙතත් නිරෝගී ජනතාවක්, නිරෝගී මානසිකත්වයක් වගේම සමාජ සම්බන්ධතා තිබෙන පවුලක්, සතුටෙන් සිටින මිනිස්සු බිහිකිරීම මෙම ප්‍රතිකාර ක්‍රමයේ සැබෑ අරමුණය.

මඳ සරු නම් දරුවො හදන්න බෑ

දරුඵල අහිමිවීම අද සමාජයේ ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව ඇති අතර මේ සඳහා වැඩිපුරම හේතු වී ඇත්තේ පිරිමි, කාන්තා යන දෙපාර්ශ්වයම මඳසරු බවයි. පාරිසරික, සමාජයීය, මානසික ඇතුළු විවිධ කාරණා මේ සඳහා බලපාන අතර අපගේ වැරදි පුරුදුද එයට බෙහෙවින්ම බලපායි. නිදසුනක් ලෙස එක් තරුණයකු තමන්ගේ ලිංගික තෘප්තිය සඳහා වෘෂණ කෝෂ මඳ උණුසුම් ජලයේ තබාගෙන සිටීම කාලයක සිට පුරුද්දක් ලෙස කරගෙන ගොස් ඇතිඅතර ඒ නිසාම ඔහු සදාතනික වඳ පුද්ගලයකු බවට පත්වී ඇත. වෘෂණ කෝෂ සාමාන්‍යයෙන් සිසිල් පරිසරයේ තිබිය යුතු අතර ඔහු එලෙස වඳ භාවයට පත්වුණේ ඔහුගේ වැරදි පුරුද්ද නිසාය. ඊට අමතරව තද යට ඇඳුම් නිතරම ඇඳ සිටීමද වඳ භාවයට හේතුවක් විය හැක. සරු පුද්ගලයෙකු නිර්මාණය කර ගැනීමට නම් ඔහුට උපතේ පටන්ම නිවැරදි පුරුදු ලබාදිය යුතුය.

වැල් පෙනෙල, හාතාවාරිය හොඳ වාජීකරණ ඖෂධ

වාජීකරණ ප්‍රතිකාර ක්‍රම සඳහා ඒ ඒ පුද්ගලයන්ට අනුව විවිධ ඖෂධ භෘවිත කෙරේ. වැල් පෙනෙල, හාතාවාරිය, අමුක්කරා, ජිම්සම්, කංසා, අබිං වැනි ඖෂධ වාජීකරණ හැකියාවන් වර්ධනය කෙරෙන ඖෂධ වන අතර මේවාට අමතරව ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව මේ සඳහාම සැකසූ සුවිශේෂී වට්ටෝරු ඇත. මෙම ඖෂධ වර්ග සකස්කර ඇත්තේ ඒ ඒ පුද්ගලයාගේ රෝගී අවස්ථාවට අනුවය.

පවුල තුළ පෞරුෂත්වය ගොඩනගා ගන්න

අප සමාජය තුළ පියා පවුල වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කරන අතර තරැණ කාලයේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම නිසා මැදිවියට එළඹෙන විට ඇතැම් විට ඔහුගේ පුරැෂ ශක්තිය හීනවිය හැක. මෙවැනි අවස්ථාවන්වලදී පවුල තුළ ඔහුගේ පෞරැෂත්වය බිඳ වැටෙන අතර ඔහු මානසිකවද යම් කඩාවැටීමකට ලක්වී වාජීකරණ ප්‍රතිකාර ක්‍රම හරහා මෙවැනි පුද්ගලයන්ගේ ක්‍රියාකාරීත්වය නැවත වර්ධනය කළ හැකි අතර ඔහුට තෘප්තිමත් ජීවිතයක්ද ලබාදිය හැක. මේ ආකාරයට ඕනෑම පවුල් සංස්ථාවක බැඳීම් නොනැසී ඉදිරියට පවත්වාගෙන යාම සඳහා වාජීකරණ ප්‍රතිකාර ක්‍රම හරහාද සුවිශේෂී දායකත්වයක්ද ලැබේ.

 හේමමාලා කුමාරි රාජකරුණා

This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

මාසෙන් මාසෙට ලෙඩේ කචල් නම් මෙන්න බෙහෙත්


විවාහ වුණු දෙදෙනකුගේ ඊළඟ හීනය තමන්ටම කියා තමන්ගේ ලෙයින් දරුවකු බිහි වනු දැකීමයි. මව් පදවිය තරම්, පිය පදවිය තරම් උතුම් පදවියක් මේ ලෝකේ තවත් නැති තරම්ය. එවන් වූ මව් පදවියක් දරන්නට එවන් වූ පිය පදවියක් දරන්නට තරම් වාසනාවන්ත නොවුණු අයද අප සමාජයේ එමටය.

බටහිර වෛද්‍ය විද්‍යාව දියුණු වීමත් සමඟ ඒ කරා ගොස් දරු පැටවකුගේ සිහිනය යථාර්ථයක් කරගන්නට ගොස් නිශ්ඵල වෑයමක තවත් ප්‍රතිඵලයක් වූ අවස්ථාද එමටය. ඒ අතරින් නොපෙනෙන බල වේගයන් හා මිත්‍යා මතවල එල්බගෙන විවිධ යාගහෝම හා බලිතොවිල්වලින් දරු සිහිනය දකින්නටද ඇතැම්හු උත්සහා ගනිති.

මෙවන් වූ යුගයක දරුවකුගේ සිහිනය සෑබෑවක් කරන්නට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළින් කළ හැක්කේ කුමක්ද? මේ පිළිබඳව ආයුර්වේද වෛද්‍ය ආචාර්ය දයානි සිරිවර්ධන වෛද්‍යතුමියගෙන් විමසීමක් කළෙමු.

සෑම කාන්තාවකගේම ප්‍රධාන අරමුණ වන්නේ මව් පදවියයි. බොහෝ කාන්තාවන් මව් පදවිය වෙනුවෙන් සූදානම් වන්නේ විවාහ වූවාට පසු වුවත් මව් පදවිය සඳහා ගැහැනු දරුවකු වැඩිවියට පැමිණීමත් සමඟ බොහෝ කල්පනාකාරී විය යුතුය.

වැඩිවියට පැමිණි දරුවකු කල්පනා වියයුතු කරුණු

• ගැහැනු දරුවකු වැඩිවියට පත්වීම සමඟ මාසික ඔසප්වීම් පිළිබඳව කල්පනාකාරී විය යුතුය.

• ගැහැනු දරුවකු බිහිවූ දා සිට ඇය පිළිබඳව විමසිලිවත්ව සිටීම සෑම මවකගේම යුතුකමකි. ගැහැනු දරුවකුගේ ඉන්ද්‍රිය පද්ධතිය නිරෝගීව රැකබලා ගැනීම ඉතා වැදගත් වේ.

 ගැහැනු දරුවා මවක් වන බව කුඩා කාලෙදිම දැනගත යුතුයි 

• ගැහැනු දරුවකුගේ ප්‍රජනන ඉන්ද්‍රිය පද්ධතිය සකස් වී ඇත්තේ අභ්‍යන්තරයට නෙරාය. යෝනි මාර්ගය, ගර්භාෂය, පැලෝපීය නාල, ඩිම්බ කෝෂ ආදිය ශරීරය අභ්‍යන්තර කොටසට අයත් වේ. ඒ හරහා විස බීජ ශරීරය අභ්‍යන්තරයට ඇතුළු වීම ඇතැම් විට සදාකාලිකව දරුවකු නොලැබීමට හේතුවිය හැක.

• නමුත් පුරුෂයෙකුගේ ලිංගික ඉන්ද්‍රිය පද්ධතිය බාහිරව නෙරා ඇත. එයින් රෝගී විසබීජ අභ්‍යන්තරයට ඇතුළුවීමට ඇති ඉඩකඩ බොහෝ අඩුය.

• බොහෝ මව්පියෝ පිරිමි දරුවන්ට වැඩි පෝෂ්‍යදායි ආහාර ද ගැහැනු දරුවකුට සාමාන්‍ය පෝෂ්‍යදායි ආහාර ලබාදීමට පෙළඹෙති. නමුත් පිරිමි දරුවකුට වඩා ගැහැනු දරුවකුට වැඩි පෝෂ්‍යදායි ආහාර ළමා කාලයේදීම දීම ඉතා වැදගත් වේ. එයින් කුඩා කාලදීම ගැහැනු දරුවාගේ පෝෂ්‍ය තත්ත්වය ඉහළ යයි.

• උසට සරිලන නිසි බරක් හා වර්ධනයක් නොමැතිකමද කාන්තාවක් ස්වභාවික දරු සම්පතකට උරුමකම් කීමට බාධාවක් වේ.

• පිරිමියා ගෘහ මූලික සමාජයක් වුවද ශ්‍රියා කාන්තාව ලෙසින් හඳුන්වන්නේ කාන්තාව බැවින් පවුල් ආරවුල්වලින් තොර සාමකාමී නිදහස් ගෘහ ජීවිතයක් ගතකිරීමට කාන්තාව දක්ෂ විය යුතුය.

• නිරෝගී ආර්ථව චක්‍රයක් පැවැතීම ඉතා වැදගත් වේ. නිරෝගී ආර්ථව චක්‍රයක් ඇති කාන්තාවන් සරු කාලය ලෙස දින 12 සිට දින 20 දක්වා කාලයේදී දිනක් හැර දිනක් සංසර්ගයේ යෙදීමෙන් යහපත් ප්‍රතිඵල ලබාගත හැක.

• ඒ සඳහා ඇයගේ පූර්ව සැකසීමද ඉතා වැදගත් වේ. විශේෂයෙන් පිරිසුදුකම, යහපත් සිතිවිලි ඇතිව සංසර්ගයේ යෙදීම, දරුවකු පිළිබඳව හිතේ ඇති ආදරය, කැමැත්ත ඇතිව සංසර්ගයේ යෙදීමෙන් දිනක සාර්ථක ප්‍රතිඵල උරුම කරගත හැක. නමුත් සිතේ කනස්සළු ගතිය, ඊර්ෂ්‍යාව, කුහකත්වය වැනි අයහපත් සිතිවිලි නිසා බොහෝ දුරට දරුවකු පිළිබඳ සුන්දර හීන සැබෑ නොවන්නට ඉඩ ඇත.

• දරු සම්පත අහිමිවන්නට ඇතිවන තවත් ප්‍රධාන හේතුවක් නම් ඔසප් චක්‍රයේ පවතින දුර්වලතාය. ඇතැම් කාන්තාවන්ගේ ඔසප් වීම් අක්‍රමවත්ය. දින විසි අටකට වරක් ඇතිවන මේ ක්‍රියාවලිය ඇතැම් කාන්තාවන්ට මාස තුනකට පසුව ඇතිවේ. ඔසප් වීම්වලදී ඇතිවන තත්ත්වයක් සඳහා බොහෝ කාන්තාවෝ ප්‍රතිකාර නොගනිති. මේ අතර ඇතැම් කාන්තාවන්ට මාසකට දෙවරක් ඔසප්වීම් ඇති වන අවස්ථා ද තිබේ.

• විශේෂයෙන් ඔසප්වීමේදී පිටවන රුධිරය නැවත ශරීරයට ලබාගැනීමට කාන්තාව පෝෂ්‍යදායී ආහාර ලබාගත යුතුය. ඔසප් වීමේදී ඇතැම් කාන්තාවන්ට අධික වේදනාව ඇතිවේ. නමුත් කිසිසේත්ම නිරෝගී ඔසප්වීමේදී අධික වේදනාව ඇති නොවේ. එමෙන්ම ඔසප් වීමේදී කැටි සහිත රුධිරය පිටවීම, රුධිරය එකදිගට අධිකව පිටවීමටද සාමාන්‍යය.

• විශේෂයෙන් කාන්තාවගේ පියයුරු අවට ප්‍රජනන පද්ධතිය අවට නිරෝගිකම මෙන්ම ඒ පිළිබඳව විමසිලිවත්ව සිටීම ඉතා වැදගත් වේ. යම් හෝ වේදනාවක් හෝ යම් වෙනස්වීමක් ඒ අවට ඇතිවුණිනම් හිතුමතේ වේදනා නාශක හෝ ප්‍රතිකාර නොගෙන සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යාම ඉතා වැදගත් වේ. එවැනි වේදනා නාශක ගැනීමෙන් වේදනාව යටපත් වුවද රෝගී තත්ත්වය තවත් ඉස්මතු වීමට බොහෝ ඉඩකඩ පවතී. මේ නිසා මෙවැනි රෝගයක් ඔබේ නොසැලකිලිමත් වීම මත පැතිරීයාමෙන් අවසානයේදී ඔබ වඳභාවයට පත්වීමට බොහෝ ඉඩකඩ තිබේ. එමෙන්ම පියයුරු පිළිකා වැනි රෝගී තත්ත්වයක් ඇතිවීමද සිදුවේ.

• දරු සම්පත ලබාගැනීමට බොහෝ දුරට වයසද බලපායි. කාන්තාවන් බොහෝමයක් තම අනිකුත් අවශ්‍යතා සපුරාගෙන අවසානයේදී දරුවකු ලබාගැනීමට උත්සහා ගනී. ඉගෙනීම, ගෙවල් දොරවල් සෑදීම, උපාධිය ලබාගැනීම වැනි අවශ්‍යතාවයන් නිසා දරු සම්පත කල්දැමීම වයස යාමත් සමඟ නොලැබී යාමට හේතු වියහැක. විශේෂයෙන් කාන්තාවන් වයස අවුරුදු හතළිහට පළමුව දරුවකු බිහිකිරීම ඉතා වැදගත්ය.

• දරුවකු බිහිකිරීම කල්දැමීම සඳහා බොහෝ කාන්තාවෝ කෘත්‍රීම හෝමෝන සහිත ඖෂධ වර්ග භාවිතා කරති. මෙමගින් අපගේ ශරීරයේ ස්වාභාවිකව නිෂ්පාදනය කෙරෙන ස්වාභාවික හෝමෝන මැඩ පැවැත්වේ. එමගින් ඇයට ගර්භාෂයේ අර්බුද, ඩිම්බකෝෂවල අර්බුද වැනි විවිධ රෝගී තත්ත්වයන් ඇතිවිය හැක.

• කාන්තාවන් සැමට නිවැරදි හෝමෝන තත්ත්වයක් තිබීමද අවශ්‍යය. එවැනි නිවැරදි හෝමෝන තත්ත්වයන් සඳහා නිවැරදි ඔසප්වීමද ඉතා අවශ්‍ය වේ. කිසිදු වේදනාවකින් තොර දින 3ත් 5ත් අතර පවතින ඇඳුමක ගෑවුණුද පහසුවෙන් හේදී යන කහට පැල්ලමක් සේ නොරුදෙන මදටි ඇටයක පැහැයක හුරු රුධිරය පිටවීම නිරෝගී ඔසප් වීමක ලක්ෂණ වේ. ස්වාභාවික ඔසප් වීම ඉබේම දින 3 – 4කින් නැවතී යති. ඇතැම් කාන්තාවන්ට ඔසප් වීම දින  8 – 10ක් අතර කාලයක් පවතී. මෙවැනි අයගේ ඔසප් චක්‍රය නිවැරදි නිරෝගී නොවේ.

• ගැහැනු දරුවකු බොහෝ විට අවුරුදු  12 - 13ත් අතර කාලයේදී වැඩිවියට පත්වේ. එතැන් සිට මසකට වරක් ඇය ඔසප් වීම්වලට මුහුණ දෙති. මේ ඔසප් වීම අවසානයේදී ගර්භාෂය නැවත දරුවකු මාසයකට වරක් බලාපොරොත්තු වේ. වැඩිවියට පත්වූ දා සිට මාස කීයක්නම් මේ බලාපොරොත්තුව ගර්භාෂයට ඇතිද...? මේ නිසා පසුකාලයේදී දරුවකු නොලැබීම තුළින් ගර්භාෂයේ විවිධ වෙනස්කම්වලට භාජනය වේ. මේ නිසා විවාහ වීම හා දරුවකු ලැබාගැනීම වැනි අපේක්ෂා නිසි කාලයේදී ඉටුකරගත යුතුය.

• මීට අමතරව දරුවකු නොලැබී යාමට හේතුවන තවත් ප්‍රධාන කරුණකි මානසික අවුල් බව. බොහෝ කාන්තාවෝ යුග දිවියේ ඇතිවන විවිධාකාර තත්ත්වයන් නිසා මානසිකව පීඩා විඳිති. ආර්ථික ප්‍රශ්න, මානසික ප්‍රශ්න නිසා ජීවිතය අවුල් කර ගනිති. මෙවැනි විවිධාකාර හේතුනිසා ඇතිවන මානසික පීඩනය ඇතැම් විට ගර්භාෂය හා ඩිම්බකෝෂ ආශ්‍රිත පිළිකාමය තත්ත්වයන් වලින් කෙළවර විය හැකිය. ඒවා දරුවකු නොමැතිවීමට ප්‍රබලව බලපායි.

• බෙල්ලේ අඳුරු ගතිය, නිකට යට රෝම ඇතිවීම, බෙල්ල මහත්වීම, ශරීරය පුරෝදැමීම සහ උදරය තෙල් තැන්පත් වීම වැනි රෝග තත්ත්වයන් ඇති කාන්තාවන් දරු සම්පත අපේක්ෂා කරයිනම් ඉක්මණින්ම වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය ප්‍රතිකාර හා උපදෙස් ලබාගත යුතුය.

• එමෙන්ම ඇදුම කාලයක් තිස්සේ පවතින කැස්ස මලබද්ධය වැනි වෙනත් රෝගයන් සඳහා ගනු ලබන ඖෂධ හේතුවෙන් ද කාලයක් යාමෙන් ශරීරයේ හෝමෝන තත්ත්වය වෙනස් වීම සිදුවේ. එහි අවසාන ප්‍රතිඵල වන්නේ බීජ මෝරන්නේ නැතිකමයි. වර්තමානයේදී නොමේරු බීජ සහිත කාන්තාවෝ බහුල වශයෙන් සිටිති. 

•ලෝකේ සෑම කාන්තාවන් පස්දෙනෙකුගෙන් එක් අයකු නොමේරූ බීජ සහිත කාන්තාවන් බව වෛද්‍ය සමීක්ෂණවලින් වර්තමානයේදී සොයාගෙන ඇත. මෙයට ප්‍රධාන හේතුව මානසික පීඩනය හා ගනු ලබන ආහාරයි.

• කාන්තාවකගේ සෑම මසකම ශරීරයේ රුධිරය පිටවීමක් සිදුවේ. මේ නිසා පෝෂ්‍යදායී ආහාර ගැනීම ඉතා වැදගත් වේ. කැල්සියම් හා යකඩ අඩංගු ප්‍රෝටීන ආහාර වැඩිපුර ගැනීම, පිෂ්ඨය කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර අඩු කිරීම, උදෑසන ආහාර ලෙස ධාන්‍ය වර්ග ආහාරයට එකතු කරගැනීම තමන්ගේ ආහාර තම අතින්ම පිරිසිදුව සාදාගෙන ආහාරයට ගැනීමට පුරුදු වීම, කඩ කෑම, ක්ෂණික ආහාර ගැනීම හැකි තරම් අඩු කිරීම අවශ්‍යය. පිටතින් ලබාගන්නා ආහාරවල කෘත්‍රීම රසකාරක හේතුවෙන් ස්වාභාවික හෝමෝනවලට හානිවීමට බොහෝ ඉඩකඩ ඇත.

• කාන්තාවන්ට ඉතා ගුණදායක කැඳ වර්ගයකි හාතවාරිය. මීට අමතරව බැබිල, රසකිඳ, එළබටු ආදී දේ එකතුකොට සාදාගත් කැඳ වර්ග මෙන්ම ගොටුකොළ විශේෂයෙන් කාන්තාවන්ට ඉතා ගුණදායක කැඳ වර්ගයකි. අඩුම තරමේ සතියකට වරක්වත් මෙවැනි කැඳ වර්ගයක් පානය කරන්න. කැඳ වර්ගයට අමතරව මෙවැනි පළා වර්ග දහවල් කෑම වේලට එකතු කරගැනීමටද පුළුවනි. එමෙන්ම දොඩම් නාරං දෙහි වැනි යුෂ පානයද ඉතා ගුණදායක වේ. එයින් ආහාරවල තිබෙන සංඝටක උරාගැනීමට ද උදවු වේ. අලිගැට පේර ඉතා ගුණදායකය.

• හැකි ඉක්මණින් යෝග ව්‍යායාම් හෝ සරල ව්‍යායාමයෙහි නිරතවන්න. අලසකම අඩු කරගන්න. ඇවිදීම ඉතා යෝග්‍ය වේ. එයින් ශරීරය නිරෝගී වනවා සේම මානසික සතුටටද හේතුවේ. මනසට මානසික සමනයක්ද එයින් උදාවේ.

• කාන්තාවන් වූ ඔබ උදෑසනම අවදිවීම නිරෝගීකමට ඉතා හොඳ ඔසුවකි. ආයුර්වේදයේ සඳහන් වන පරිදි මනුෂයෙකු අවදි විය යුත්තේ බ්‍රහ්ම මූර්තයෙනි. එනම් උදෑසන හතරාමාරටය. එවිට දවස සැහැල්ලුවෙන් සතුටින් ගෙවීමට හැකියාව ලැබේ. කාලය ඉතිරි වේ. නිරෝගී වේ. පවුලක දියුණුව රඳාපවතින්නේ කාන්තාව මත බව සිහි තබාගැනීම අවශ්‍යය.


♦ දිශානි ජයමාලි කරුණාරත්න

This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

තරුණයන්ට මතුවන ලිංගික දුබලතා.


ලිංගික අප්‍රාණිකත්වයට බලපාන හේතු දෙකක්‌ ඇත. පළමු හේතුව ශාරීරික ආබාධ සහ දෙවැනි හේතුව මානසික ආබාධය.

ශාරීරික හේතු නිසා මතුවන ලිංගික අප්‍රාණිකත්වය බහුලවම දැකිය හැක්‌කේ මැදිවියේදීය. නමුත් යොවුන් වියේදී ද ශාරීරික හේතු නිසා ලිංගික අප්‍රාණිකත්වයට පත්වන පුද්ගලයන් 5% ක්‌ පමණ හමුවේ. ඔබත් වයස අවුරුදු 35 ට අඩු වියේ පසුවන තරුණයන් ලෙස පවසා ඇත. මෙම වයසේදීද දියවැඩියාව, අධි රුධිර පීඩනය. හේමෝන සහ ස්‌නායු පද්ධතියේ රෝග මතුවීම නිසා ලිංගික අප්‍රාණිකත්වය ඇතිවිය හැකිය.

පිළිකා වැනි රෝග සඳහා සිදුකරන "කීමෝ තෙරපි" සහ "රේඩියෝ තෙරපි" යන ප්‍රතිකාරවල බලපෑම් නිසාද ලිංගික අප්‍රාණිකත්වය ඇතිවේ.

වෘෂණ කෝෂ සැත්කමක්‌ මගින් ඉවත් කිරීමට සිදුවීම හෝ ඉතා කලාතුරකින් වෘෂණ කෝෂවලට බලපෑම් ඇතිවන ආකාරයේත් කම්මුල්ගාය රෝගය උත්සන්න වූ විටදීද ලිංගික අප්‍රාණිකත්වය ඇතිවේ.

ඇතැම් මානසික රෝග සඳහා ගනු ලබන ඖෂධ නිසාද ලිංගික අප්‍රාණිකත්වය ඇතිවේ. මෙම ඖෂධ ගනු ලබන කාල සීමාවේදී ඇතිවන බැවින් එය තාවකාලිකව ඇතිවන අප්‍රාණිකත්වයකි. එම ඖෂධ ගැනීම නතර කළවිට ලිංගික අප්‍රාණිකත්වය මගහැරී යයි.

ඇතැම් තරුණයන් මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට අධික ලෙස ඇබ්බැහිවී සිටීම හෘදයාබාධ, වකුගඩු ආබාධ වැනි දිගුකාලීන රෝගවලින් පීඩා විඳීම, හෝමෝන අසමතුලිත රෝගයක්‌ වන prolactinoma ඇතිවිට ද තරුණ වියේදී ලිංගික අප්‍රාණිකත්වය ඇතිවිය හැකිය.

මානසික හේතු 

ලිංගික අප්‍රාණිකත්වයට පත් වයස අවුරුදු 35 ට 95% පමණ බොහෝ දෙනාට ඒ සඳහා හේතුවී ඇත්තේ මානසික ආතතියයි.

මෙම මානසික ආතතිය ඇතිවීමට බලපා ඇති කරුණු අතර අඹු සැමියන් අතර පවතින සැකය, එකිනෙකා අතර සුහද සම්බන්ධයක්‌ නොතිබීම, ලිංගික සම්බන්ධතාව පිළිබඳව පවතින වැරදි මත, ලිංගික සම්බන්ධතාවක්‌ සඳහා අවශ්‍ය පෞද්ගලික වටපිටාව නොතිබීම ප්‍රධාන වශයෙන් බලපායි.

මෙසේ ඇතිවන මානසික ආතතිය නිසා ලිංගික අප්‍රාණිකත්වයට පත්විය හැකිය. එය Performance Anxiety ලෙස හඳුන්වයි.

මෙහිදී සිදුවන්නේ පවතින නොසන්සුන්බව නිසා හෘදය සහ මාංශ පේශි වැනි ඉන්ද්‍රියන් අධිකව ක්‍රියාකිරීමය. එවිට එම ඉන්ද්‍රියයන් වෙත සිරුරේ රුධිරය වැඩි ප්‍රමාණයක්‌ ගමන් කිරීම නිසා ප්‍රජනන ඉන්ද්‍රියයන් වෙත නිසි ලෙස රුධිර සැපයුම නොලැබේ. මෙලෙස ප්‍රජනන ඉන්ද්‍රිය වෙත නිසි ලෙස රුධිර සැපයුම නොලැබීමෙන් ඒවා ප්‍රාණවත් නොවී හැකිලීමට ලක්‌වේ.

මානසික ආතතිය නිසා ලිංගික අප්‍රාණිකත්වය ඇති වුවද ඔවුනට ලිංගික උත්තේජනයකදී නින්දේදී හෝ ස්‌වයං වින්දනයේදී ප්‍රාණවත්වීමක්‌ සිදුවේ.

නමුත් ඇතැම් අවස්‌ථාවලදී ඔවුන් තම ලිංගික අප්‍රාණිකත්වය පිළිබඳව පරීක්‍ෂා කිරීම සඳහා ස්‌වයං වින්දනයේ යෙදීමට උත්සාහ කිරීමේදී ද ලිංගික අප්‍රාණිකත්වය ඇතිවිය හැකිය. එය ඇතිවන්නේ ඔවුන් ඒ සඳහා යොමුවන්නේ ලිංගික උත්තේජනයකින් තොරව සිතේ පවතින සැකය මතය.

යොවුන් වියේදී මතුවන මෙම ලිංගික අප්‍රාණිකත්වය සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් සාර්ථක සුවයක්‌ ලබාගත හැකිය. එහිදී වෛද්‍යවරයාට තම ගැටලුව සම්බන්ධ සියලු තොරතුරු පැවසිය යුතුය. ලැඡ්ජාව හෝ බිය නිසා වෛද්‍යවරයාට තමාගේ ගැටලුවට හේතු නොකියා සිටීමෙන් සිදුවන්නේ නිසි ප්‍රතිකාර නොලැබීමය. එම තත්ත්වය නිසා ඇතැම් අඹු සැමියන් තුළ සැකය, අසහනය මතුවීම නිසා පවුල් කඩාකප්පල්වීමටද හේතුවේ.

ලිංගික ගැටලූ පිළිබද විශේෂඥ වෛද්‍ය 
ලසන්ත මලවිගේ

This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

සිසුන් අතර සමාජ රෝග පැතිරීම ඉහළ ගිහින්.


පාසල් දරුවන් අතර පැතිර යන බව කියන ඇතැම් සමාජ රෝග අවම කර ගැනීමට පියවර ගන්නැයි ඉල්ලමින් අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

මේ ඉල්ලීම කිරීමට මූලික වූයේ පාසල් දරුවන් අතර සමාජ රෝග පැතිර යාමේ වර්ධනයක් ඇති බැවින් බවද එහි දැක්වේ.

අනධ්‍යයන සේවක සංගමය කියා සිටින්නේ වයස අවුරුදු 13සිට ඉහල වයසේ දරුවන්ගෙන් 4%ක පමණ පිරිසක් මෙම ගැටලුවට මුහුණ පා ඇති බවයි.


මෙම තත්ත්වය වැලැක්වීම සදහා පාසල් සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම අනිවාර්ය කරන ලෙසද එම ලිපිය මගින් කරුණු දක්වා ඇත.

This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

දරු ප්‍රසූතියෙන් පසු?


පළමුවෙන් ම මා සකච්ඡා කිරීමට යනුයේ ඔබ දරුවා ප්‍රසූත කළ ආකාරය අනුව ඔබට සිදුවන වෙනස්කම් සහ ඒවාට මුහුණ දෙන අාකාරය වේ. 


  • ස්වභාවික යෝනි මාර්ගික දරු උප්පත්තිය

ස්වභාවික දරු උපතකදී ඔබගේ ශ්‍රෝණි මේඛලාව සහ ගැබ් ගෙල අෑත් වීමකට ලක් වී යෝනි මාර්ගය දිගේ දරුවාගේ හිස කොටස එළියට පැමිණේ. එහිදී යෝනියද ඇදීමකට ලක්වී කෙමෙන් දරුවාගේ හිස පිටස්තර පරිසරයට පැමිණේ. ඇතැම් විට යෝනි විවරයෙහි ඉඩ ප්‍රමාණය වැඩි කිරීමට වෛද්‍යවරයා යෝනියත් ගුද මාර්යත් අතර ඇති පෙදෙසට කැපුමක් යොදනු ලැබේ. 


මෙවන් කැපුමක් සිදු කළහොත් එය සුව වන තුරු යෝනිය සහ තුවාලය ආශ්‍රිත පෙදෙස හැකි තරම් වියලිව සහ පිරිසිදුව තබා ගත යුතුය
දරු ප්‍රසූතියෙන් පසු වැදෑමහ සහ තවත් ශ්‍රාවයන් පිටවන නිසා විශේෂ සනීපාරක්ෂක තුවා පැළඳා සිටීම සුදුසු වේ.

ශ්‍රෝණි මේඛලාව සහ ගැබ් ගෙල සහ යෝනිය දිගැදුමකට පත් වීමට නැවත යතා තත්වයට පත් වීමට යම් කිසි කාලයක් වැය වේ. දෙවනුවට ඔබට ඔබගේ යෝනියේ පළමු ප්‍රසූතයට පෙර තිබූ තද ගතිය නැති බව හැඟෙනු ඇත. ඒ සඳහා ඔබ මාගේ පෙර ලිපි වල සඳහන් කීගල් ව්‍යායාම පද්ධතිය කිරීම ඔබගේ යෝනි බිත්ති යතා තත්වයට පත්කිරීමට මහත් පිටිවහලක් වනු ඇත. 


  • වෛද්‍ය සහය ආධාරයෙන් / තෝරාගත් දරු උපත් ක්‍රමවේද / සිසේරියන් සැත්කම

සිසේරියන් සැත්කම කිරීමේදී ඔබගේ යටිබඩ ප්‍රදේශයෙන් කැපුමක් සිදුකර විවෘත කොට ගර්භාෂයේද කැපුමක් යොදා දරුවා බිහිකරනු ලැබේ. මෙහිදි ස්වාභාවික දරු උපතක මෙන් සංකුලතා සිදුවීම අවම වන අතර ශ්‍රෝණි මේඛලාව සහ ගැබ් ගෙල සහ යෝනිය දිගැදුමකට පත් වීම සිදුවන්නේ නැත.

මෙහිදී සැලකිලිමත් විය යුතු කරුණ නම් මෙම සිදුකරන කැපුම සහ එම තුවාලය පිරිසිදුව සහ වියළිව තබා ගැනීමයි. 

සාමාන්‍ය දරු ප්‍රසූතියකට වඩා , සිසේරියන් සැතකමෙන් පසු යෝනිය හරහා ලේ සහ ශ්‍රාවයන් පිටවන නිසා විශේෂ සනීපාරක්ෂක තුවා පැළඳා සිටීම සුදුසු වේ.

වෛද්‍යවරුන් විසින් වේදනා නාශක සහ ඇන්ටිබයොටික් ඖෂධ ලබා දෙන අතර ඒවා නිවැරදි වේලාවට නිවැරදි මාත්‍රාවට ලබාගත යුතුය. 

කෙසේ වෙතත් අලුත දරුවකු බිහි කළ මවුවරුනට ඇති ප්‍රධානම ගැටළුව නම් දරුවාට කිරි දීමයි. මෙය මුලින් වේදනාකාරී අත්දැකිමක් වීමට වැඩි ප්‍රවණතාවක් ඇත. මක් නිසාද යත් තනපුඩු තවමත් කිරි දීමට හුරුවී නොමැති වීමත් එනිසාම එය ඉදිමීමට සහ පැසවීමට ඉඩ ඇති නිසාය. මේ සඳහා ඔබට ඔලිව් තෙල් තනපුඩු වල ආලේප කිරීමෙන් යම් සහනයක් ගත හැකිය.


  • ව්‍යායාම කිරීම

ඔබ දරුවා බිහිකරන තුරු ඔහුගේ/ඇයගේ බර දරාගෙන සිටීම උදෙසා ඔබගේ ඉරියව්ව ස්වභාවිකම වෙනස් වේ. එසේම ඔබගේ උදර මාංශපේශීන් ඉතා ඇදීමටක ලක් වේ. එවිට එම මාංශපේශීන් දුර්වල වේ. විශේෂයෙන්ම පිට කොන්ද ආශ්‍රිත මාංශපේශින් සහ උදර මාංශපේශීන් මෙලෙස දුර්වල වේ.ව්‍යායාම වලින් තොරව මෙම මාංශපේශින් නැවත යතා තත්වයට පත් කළ නොහැක. ඇතැම් විට ඔබගේ උදරයේ තිබූ ඇදුනු සලකුණු (Stretch marks) නැති නොවනු ඇත.

සාමාන්‍ය දරු උප්පතියකින් සති 6 කට පසු සුළු ව්‍යායාම වලින් පටන් ගෙන එය වර්ධනය කරගත හැකිය. එහෙත් සිසේරියන් සැත්කමකින් පසු අවම වශයෙන් මාස 3ක් වත් සිටිය යුතු වේ. මක්නිසාද යත් කැපුමකට ලක් වූ සියලු මාංශපේශීන් නැවත යතා තත්වයට පත්වීමට එතරම්ම කාලයක් යන බැවිනි. මෙම ව්‍යායාම කිරීම සඳහා සුදුසු උපදෙස් වෛද්‍යවරයාගෙන් ලබාගත හැකි අතර ලංකාව තුළ මෙම ව්‍යයාම සිදුකිරීම සඳහා ආයතන සුළු ප්‍රමාණයක් පවතී. මා ඔබට නිර්දේශ කිරන්නේ  ශ්‍රී ලංකා ජිට් කුන් ඩෝ පාසැල මගින් පවත්වන පසු ප්‍රසූති සහ කාන්තා ව්‍යායාම වැඩසටහන සඳහා සහභාගී වන ලෙසයි.


  • නැවත ලිංගික එක්වීම

දරු ප්‍රසූතියෙන් මාස 03 පමණ පසු ඔබට ලිංගිකව එක්වීමට පුළුවන. එහෙත් කිරි දෙන අවධියේදී ශරීරයේ ඊස්ට්‍රජන් හෝර්මෝනය පහළ යෑම නිසා ලිංගික ආශාව පහත වැටීමත් , යෝනි මාර්ගය වියළි බව ඇති වීමත් නිසා ලිංගිකව එක්වීම වේදනාකාරී විය හැකිය. එබැවින් ලිංගිකව එක්වන්නේ නම් ලිහිසි ද්‍රාවණයක් බාවිත කරන්නේ නම් යෝග්‍ය වේ. කෙසේ වෙතත් මේ අවධියේදි නැවතත් ඔසප් වීම ඇතිවිය හැකිවාක් මෙන්ම එය අක්‍රමවත් වීමේ සම්භාවිතාවක්ද පවතියි. තවද ඔබ නැවත ගැබ් ගැනීමේ සම්බාවිතාවක්ද පවතී. එබැවින් වෛද්‍ය නියමය මත උපත් පාලන ක්‍රම බාවිතා කරන්න. ඔබට දරුවකු සෑදීමට අවශ්‍ය නම් අවම වශයෙන් පෙර දරුවාට වසරක් වන තුරු වත් පවුල සැලසුම් කරන්න

එසේම ඔබට ලිංගිකව එක්වීම වේදනාකාරී නම් ඔබගේ සහකරු සමග සාකච්ඡා කොට සම්මුතියකට පැමිණෙන්න. ඔහුගේ ආශාවන් / අවශ්‍යතාවන් ඉවත දමන්න එපා! ලිංගිකව එක් වන වා සේම වෙනත් ආකාර වලින් ඔබගේ සහකරු සැනසිය හැකිය.

This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

කාන්තාවකට ලිංගික උත්තේජනය ඇති වන අයුරු පියවර 4කින්.


ලිංගිකව එක්වීම සඳහා වන උත්තේජනය කාන්තාව හා පිරිමියාට ඇතිවෙන ආකාරයේ වෙනස්වීම් පවතින බව මීට කලින් අහලා තියෙනවද? ඇත්තටම මෙම උත්තේජන කාන්තා පිරිමි ආකාරයෙන් යම් යම් වෙනස්වීම් ඇති බව තමයි වෛද්‍යවරුන් පවසන්නේ. තෘප්තිමත් ලිංගික දිවියකට මෙම වෙනස්වීම් හඳුනාගෙන සිටීම හරිම වැදගත්. පියවරෙන් පියවර අපි බලමු කාන්තාවකට ඇතිවන ලිංගික උත්තේජනය කෙබඳු ආකාරයේ එකක්ද කියා.

පළමු පියවර
කාන්තාවකගේ ලිංගික උත්තේජනයකදී පළමුව දැකිය හැකි ලක්‌ෂණය වනුයේ ඇයගේ පියයුරු උත්තේජනය වීමයි. ඉන්පසු තනපුඩු ප්‍රාණවත් වෙනවා. මෙම ලක්‌ෂණ මතුවීමත් සමඟ ඇයගේ ලිංගික ප්‍රදේශයට ගමන් කරන රුධිර ප්‍රමාණය වැඩිවෙන අතර ඒ අනුව එම ප්‍රදේශයේ ක්‍රියාකාරිත්වය ඉහළ යනවා

මෙහිදී ඉතා ඉක්‌මනින් දැකිය හැකි ලක්‌ෂණයක්‌ වනුයේ යෝනි ප්‍රදේශය තෙත්වීම. එය ලිංගික උත්තේජනයක්‌ ඇති වී තත්පර 30 ක්‌ වැනි කෙටි කාලයකදී සිදුවිය හැකියි. උත්තේජනයක් ඇතිවීමට ස්පර්ශය අත්‍යාවශ්‍ය කාරණයක් නොවන බව මතක තබා ගත යුතුයි. සිතිවිල්ලකට වුවත් ලිංගික උත්තේජනයක් ලබා දිය හැකියි.

දෙවන පියවර
මෙහිදී ප්‍රාණවත් භාවයට පත්වූ ලිංගික ප්‍රදේශයේ සක්‍රීය බව යම් පසුබෑමකට ලක්‌වූවා වැනි ලක්‌ෂණ මතුවෙනවා.

ඇතැම් දෙනා සිතන්නේ එවිට ලිංගික උත්තේජනය අප්‍රාණික වූවා කියායි.

නමුත් එය සම්පූර්ණයෙන්ම වැරදි වටහා ගැනීමක්. සිදුවී ඇත්තේ ලිංගික උත්තේජනය අප්‍රාණිකවීමක්‌ නොව ලිංගික කටයුතු සඳහා අවශ්‍ය පසුබිම සැකසී තිබීමයි. එනම් ලිංගිකව හැසිරීම සඳහා අවශ්‍ය කාලය උදාවීතිබීමයි.

තෙවන පියවර
ලිංගිකව හැසිරීමේදී කාන්තාවට මානසිකව ඇතිවන උපරිම තත්ත්වය සුරතාන්තයට පත්වීම ලෙස හඳුන්වනු ලබන බව ඔබ දන්නවා.

සුරතාන්තයේදී ඇයගේ යෝනි ප්‍රදේශයේ මාංශපේශි සංකෝචනයවීම සිදුවනවා. එය යෝනි ප්‍රදේශයෙන් පටන්ගෙන කකුල් අත් පා උදරය ප්‍රදේශය දක්‌වා පැතිර යා හැකියි.

මේ අවස්‌ථාවේදී කාන්තාවගේ රුධිර පීඩනය වැඩි වෙනවා. හෘද ස්‌පන්දනය ඉහළ යනවා. හුස්‌ම ගැනීම වේගවත් වෙලා ගැඹුරු හුස්‌ම ගැනීමක්‌ ඇතිවෙනවා.

සාමාන්‍යයෙන් සුරතාන්තයට පත්වීමෙන් පසු ඇයගේ ඇති වූ ලිංගික උත්තේජනය ක්‍රම ක්‍රමයෙන් පහව ගොස්‌ සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. නමුත් ඇය තුළ මතුවන හැඟීම අනුව සහ ලිංගික ක්‍රියාවේ ස්‌වභාවය අනුව නැවත වරක්‌ ඇය සුරතාන්තයට පත්විය හැකියි. එසේම ලිංගික ක්‍රියාවේ තවදුරටත් යෙදීමේ හැකියාවද පවතිනවා. මෙය පිරිමියාගේත්, කාන්තාවගේත් ලිංගික උත්තේජනයේ දැකිය හැකි වෙනසක්

කාන්තාව සුරතාන්තයට පත්වූ විට ඇයගේ යෝනි මාර්ගයෙන් පිටවන තරලය වැඩිවෙන අතර. ඇතැම් කාන්තාවනට මුත්‍රා සුළු ප්‍රමාණයක්‌ද පිට වෙනවා. මෙය අනිවාර්යයෙන්ම සිදුවන හෝ සිදුවිය යුතු දෙයක්‌ නොවන බව සිහි තබා ගත යුතුයි.

සිව්වන පියවර
සුරතාන්තයෙන් පසු කාන්තාවගේ ලිංගික ප්‍රදේශයේ ඉහිල්වූ මාංශ පේශි සහ රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත්වීම ආරම්භ වෙනවා.

මෙලෙස කාන්තාව සාමාන්‍ය තත්ත්වයට පත්වීම ඉතා ඉක්‌මනින් සිදුවන්නේ සුරතාන්තයට පත් වූ පසුයි.

සුරතාන්තයට පත් නොවී ලිංගික කටයුතු අවසන් කරනවිට ඇයට සාමාන්‍ය තත්ත්වයට පත්වීම සඳහා වැඩි කාලයක්‌ ගත වෙනවා

This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

නිවැරදි ආකාරයට කොන්ඩමයක් භාවිතා කරන ආකාරය – Sinhala Video


ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයේම වඩාත්ම  ජනප්‍රිය උපත් පාලන ක්‍රමය තමයි කොන්ඩම්  කියන්නේ. බොහෝ දෙනා මේ ගැන  අහලා තිබුනත් හරියටම මේ කොන්ඩමයක්  භාවිතා කරන්නේ  කොහොමද කියා බොහෝ දෙනෙකුට අවබෝධයක් නෑ.

ඇත්තටම අපි හිතනවාට වඩා බොහෝ දේවල් කොන්ඩමයක්  භාවිතා කිරීමේදී සැලකිල්ලට ගත යුතුයි. කොන්ඩමය පැලඳීමේ සිට සංසර්ගය  අවසානයේ කොන්දමය ඉවත් කිරීම දක්වා ඔබ සැලකිලිමත් විය යුතු කරුණු පහත වීඩියෝවෙන් ඔබට දැනගත හැකියි .

This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

වයසට ගැළපෙන්න ‘Bra’ තෝරාගන්නේ මෙහෙමයි.


බොහෝ අය සිතාගෙන සිටින්නේ යට ඇඳුම් පිටතට නොපෙනෙන නිසා ඒවා ගැන එතරම් සැලකිලිමත් විය යුතු නැහැයි කියායි. නමුත් එය ඉතාම වැරදි කල්පනාවක්. කොච්චර වටිනා, ලස්සන ඇඳුමක් ඇන්දත් යට ඇඳුම් වැරදි විදිහට තෝරාගෙන තිබෙනවානම් අර උඩු ඇඳුමේ සුන්දරත්වයත් නැති වී යාම තමයි සිදු වන්නේ.
මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්නට බලාපොරොත්තු වන්නේ විවිධ වයස් කාණ්ඩයන්ට වැඩිපුරම සුදුසුවන්නේ කුමන ආකාරයේ ‘බ්‍රා’ ද යන්නයි.

ටීන් ඒජ්


ටීන් ඒජ් වියේ පසුවන දියණිවරුන් තමාගේ සිරුර එල්ලා නොවැටෙන වගේම පපුව විශාලකර නොපෙන්වන බ්‍රා තෝරා ගතයුතුයි. පියයුරු අතර ඇති රේඛාව (ක්ලීවේජ්) අනවශ්‍ය තෙරපුමකට ලක් නොවන බ්‍රා ඔබට වැඩි සුන්දරත්වයක් එක් කරනවා.

තරුණ විය


තරුණ වියේ පසුවන යුවතියන්ට ආකර්ෂණීය බවක් ගෙන එන්නේ පියයුරු අඩක් වැසෙන සේ ඇති බ්‍රා විශේෂයයි. එසේම කාර්යාලීය සේවයේ නියුතු නිතර සාරියකින් හැඩවන කාන්තා ඔබට ඔබේ සිරුරේ හැඩය හා ප්‍රමාණය අනුව ‘ඩී කප්’ හෝ ඊට විශාල ප්‍රමාණයේ කප් සහිත බ්‍රා ගැළපෙනවා. ඔබට සිරුරේ හැඩයට හා සසඳන විට එතරම් නොවැඩුණ පියයුරු යුවළක් ඇත්නම් පැඩඩ් බ්‍රා තෝරා ගත හැකියි.

කිරි දෙන මවක් නම්


ඔබ කිරිදෙන මවක් නම් එසේත් නැතිනම් අසාමාන්‍ය මහතක් ඇති යුවතියක් නම් ඔබ අඳිනා බ්‍රා එක මඟින් ඒ බව සඟවන්න අවශ්‍ය නැහැ. බ්‍රා කප් යටින් කුඩා වයරයක් ඇති බ්‍රා තෝරා ගැනීමට තරම් ඔබ දැනුවත් විය යුතුයි. එවැනි බ්‍රා මඟින් පියයුරුවලට කදිම සහයෝගයක් ලැබෙනවා.

සාදයකට/ උත්සවයකට සහභාගී වන විට


ඔබ සාදයකට හෝ උත්සවයකට සහභාගි වන යුවතියක් නම් ඔබේ උඩ ඇඳුමකින් බ්‍රා පටිය පිටත පනින ආකාරයට ඇඳුම නොඇඳීම වැඳගත්. ඒ සඳහා ඔබ කළයුත්තේ බ්‍රා පටි රහිත පැඩඩ් බ්‍රා පමණක් ඇඳීමයි. පැඩඩ් බ්‍රා තෝරා ගැනීමේදී අඟල් 28 සිට අඟල් 44 දක්වා ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අඟල් 32 අඳින යුවතියක් පැඩඩ් බ්‍රා එක තෝරා ගත යුත්තේ අඟල් 36 ප්‍රමාණයෙන්. එමෙන්ම වයර් සහ ලේස් බ්‍රා සඳහා ද මේ දිනවල ඉහළ ඉල්ලුමක් පවතිනවා

This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

ප්‍රථම හාදුව දෙන්නට පෙර දැනගත යුතු දේවල් 10ක්.


පෙම්වතාගෙන් හෝ පෙම්වතියගෙන් ලැබෙන ප්‍රථම හාදුව කියන්නේ අපේ ජීවිතයේ කිසිදාක නොමැකෙන සමරු සටහනක් වගේ දෙයක්. නමුත් ඔබට ඒ මොහොත හරියට ග්‍රහණය කරගන්න බැරි වුනොත් එය පසුතැවීම, කලකිරීම වැනි සෘණාත්මක හැඟීම් ඉතිරි කරන දෙයක් බවට පත්වේවි. ඒ නිසා ප්‍රථම හාදුවට පෙර පහත දේවල් ගැන සැලකිලිමත් වී සිටීම ඇඟට ගුණයි.


  • ඔබේ පෙම්වතිය/පෙම්වතා සිපගැනීමකට සූදානම් වී සිටීම

මෙහිදී ඔහු හෝ ඇය සිප ගැනීමක් ලබන්නට කැමැත්තෙන් සිටින මොහොතක් වීම අනිවාර්යයයි. ඔබ දෙදෙනා එකිනෙකා හා ස්පර්ශ වෙමින් සුහද ලෙස කතා බහක යෙදී සිටින, සිනා සෙමින් සිටින අවස්තාවක් මේ සඳහා වඩා සුදුසුයි.


  • ඔබේ හුස්ම දුර්ගන්ධයෙන් තොර වීම

මතක හිටින ආකාරයේ මිහිරි සිප ගැනීමකට දුර්ගන්ධයෙන් තොර හුස්මක් තිබිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ සඳහා ඔබ ඔබේ මුඛ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වී තිබිය යුතුයි.


  • සිප ගැනීමකට සුදුසු පරිසරයක සිටීම

සෙනග ගැවසෙන, තදබදයක් සහිත, ඝෝෂාකාරී පරිසරයක් සිප ගැනීම සඳහා කොහෙත්ම සුදුසු නැහැ. ඒ නිසා එම අවස්ථාවට ගැළපෙන ප්‍රේමණීය පරිසරයක් ඇති ස්ථානයක් ඔබ විසින් තෝරාගෙන තිබිය යුතුයි.


  • සිරුරෙන් නිකුත් වන සුවඳ

මුඛ සෞඛ්‍ය ගැන අපි මීට කලින් කතා කළා. ඒ පමණක් නෙවෙයි ඔබේ සිරුරෙන් දහදිය ගඳ වහනය වනවානම් එය ඔබේ පෙම්වතාට/පෙම්වතියට අප්‍රසන්න අත්දැකීමක් වන්නට පුළුවන්. ඒ නිසා පිරිසිදුව, පිළිවෙලකට ඔහු හෝ ඇය ඉදිරියේ පෙනී සිටීම වැදගත්.


  • සිප ගැනීමකට සුදුසු ආකාරයෙන් සමීපව සිටීම

සිප ගන්නා විට ඔබ දෙදෙනා ඉතා සමීපව සිටීම ඉතාම ප්‍රේමණීය වනවා.


  • මෘදු ලෙස ආරම්භය ගැනීම

කලබලය මෙන්ම ආවේගශීලී වීම මෙවන් මොහොතකට කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ.


  • දෑත්වල පිහිටීම

සිප ගන්නා විට ඔබේ දෑත් ඔහුගේ හෝ ඇයගේ සිරුර වටා එතී තිබීම ඔවුන්ට සුරක්ෂිත හැඟීමක් ගෙන දේවි.


  • දිව භාවිතා කිරීම

ප්‍රථම හාදුවෙදී තම පෙම්වතා අනවශ්‍ය ආකාරයට දිව භාවිතා කිරීම කාන්තාවන්ගේ නොරිස්සුමට ලක්වන බවයි කියැවෙන්නේ. ඒ නිසා ඇයට අප්‍රසන්න හැඟීමක් ගෙන නොදෙන ආකාරයට එය පාලනය කරගැනීම වැදගත්.


  • හාදුවේ වේලාව

හාදුවක් කොපමණ වෙලාවක් පුරා දිය යුතුද යන්න පිලිබඳ නිශ්චිත මිනුමක් නැහැ. ඔබ දෙදෙනා කැමති, පහසුවෙන් සිටිය හැකි ඕනෑම වෙලාවක් පුරා ඔබට සිප ගැනීමේ නිරතව සිටිය හැකියි.


  • හාදුවෙන් පසු හැසිරීම

මෙය ඉතාම වැදගත් අවස්ථාවක්.  සිප ගැනීමෙන් පසුවත් එකිනෙකා හා මිත්‍රශීලීව සිටින්නට ඔබ වග බලාගත යුතුයි. තැති ගැනීමෙන් හා කලබලකාරීව සිටිය යුතු නැහැ. හාදුවෙන් පසුව ‘මම මේ මොහොත වෙනකල් බලාගෙන හිටියා’ වැනි යමක් පැවසීම සුදුසුයි. එසේත් නැත්නම් සාමාන්‍ය ආකාරයට කතා බහක් පටන් ගැනීම කළ හැකියි.

This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

ලිංගිකව හැසිරීම පිලිබඳ කාන්තාවන්ට ඇති, පිරිමින් නොදන්නා සුලබ ගැටළු 10ක්.


ලිංගික ගැටළු කාන්තා, පිරිමි භේදයකින් තොරව ඕනෑම අයෙකුට තිබෙන්න පුළුවන්. නමුත් කාන්තාවන්ගේ ස්වරූපය තමයි එවන් ගැටළුවක් ඇතිවූ විට ලැජ්ජාව නිසා ඒවා සඟවාගෙන සිටීම. මේ ලිපියෙන් කියැවෙන්නේ කාන්තාවන්ට සුල ලිංගිකව හැසිරීම සම්බන්ධව ඇති ගැටළු කිහිපයක්. මේවා ගැන දැනගෙන සිටීම වැදගත් වෙන්නේ පුරුෂ පාර්ශවයට තමයි.

  • දරුවෙක් ලැබුණ පසු ලිංගිකව හැසිරීමට ඇති අකමැත්ත
  • ඒකාකාරී බව නිසා ලිංගිකව හැසිරීම එපා වීම
  • විවාහයේ වගකීම් සමඟ දෙදෙනාට තනිව සිටින්නටවත් වේලාවක් නොමැති වීම.
  • ආර්තවහරණය නිසා ඇතිවන හෝර්මෝන වෙනස් වීම හේතුවෙන් ලිංගිකව හැසිරීම කරදරයක් සේ දැකීම.
  • ආර්තවහරණය හා ඒ වයසට ලංවන විට යෝනි මාර්ගය වියළි ස්වභාවයක් ගැනීම නිසා ලිංගික එක්වීම වේදනාකාරී වීම.
  • සැමියා නිල් චිත්‍රපට නැරඹීමට හුරු වී සිටීම.
  • සැමියා ඉක්මනින් සුරතාන්තයට ලංවීම සහ බිරිඳට සුරතාන්තයක් ලබා දීමට ඔහු අපොහොසත් වීම.
  • සැමියා යහනේදී විවිධාකාර අප්‍රසන්න නම් වලින් බිරිඳව ඇමතීම.
  • සැමියාට ගුද මාර්ග සංසර්ගය කිරීමට උවමනා වීම සහ එය බිරිඳට ඉතාම වේදනාකාරී වීම.
  • නිතරම මුඛ සංසර්ගයට අදාළ දේවල් කරන ලෙස සැමියා විසින් බිරිඳට පැවසීම.

අප සෑමවිටම කියනවා මෙන් මෙවන් තත්වයන් ඔබේ යුග දිවිය තුළ පැවතීම එය පසුකාලීනව දෙදරා යන්නත් හේතුවක් වන්නට පුළුවන්. ඒ නිසා සෑමවිටම කළ යුත්තේ දෙදෙනා කතා බහ කර පවතින ගැටළු හඳුනාගැනීමයි. අවශ්‍ය නම් ඔබට වෛද්‍යවරයෙකු මුණ ගැසී උපදේශනයන්ද ලබා ගැනීමට හැකියි. මේවා විසඳාගෙන සාර්ථක යුග දිවියක් ගෙවීමට ඔබට අවශ්‍ය වන්නේ එකිනෙකා කෙරෙහි ඔබ තුල පවතින ආදරය, සෙනෙහස සහ ගෞරවයයි.

This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language